ජනාධිපති අනුර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

0
ජනාධිපති අනුර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

ජනාධිපති අනුර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්රාචබාද් මැදුරේදී අද (16) දින පස්වරුවේ පැවැත් වුණා.

ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කෙරුණා.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ සතුටු වන බවයි.

අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණුතුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමටද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු වුණා.

ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබුණා.

එසේම නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරනවා.

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ආරක්ෂක සහයෝගිතාව (Colombo Security Conclave) යටතේ සමුද්රි ආරක්ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com