උසස් පෙළ විභාගය ඇතුළු තවත් විභාග 2ක් කල් දැමේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව දෙසැම්බර් මස 4වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බවද පැවසු විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
කල්දැමූ උසස්පෙළ විෂයන් නැවත පවත්වනු ලබන දින පහත පරිදි වේ:
* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා
* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා
* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා
* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා
* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා
* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා
මේ අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත් වෙන අතර එදිනට නව කාලසටහන වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.අද දින (28) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගයද (2016/24) එලෙස අදාළ දිනවලදී නොපැවැත්වෙන බවය.
අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් අද දිනයේ(28) නිවේදනය කළේ එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවය.