මැතිවරණ ප්‍රචාරණ කටයුතු 18 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි

මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු බදාදා දින (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව බදාදා දිනයේ(18) මධ්‍යම රාත්‍රී 12සිට මැතිවරණය පැවැත්වෙන 21වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත.

මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්යක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි බදාදා (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්වෙනු ඇත.

ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය මැද කොළඹ ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලියද මැද කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අවසන් රැලිය කොට්ටාව නගරයේදීත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.

අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමටද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *