රජයේ පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂණාවරණයක්

රජයේ පාසල් සිසුන්ට (01) සිට රක්ෂණාවරණයක්

රජයේ පාසල් සිසුන්ට (01) සිට රක්ෂණාවරණයක්

සුරක්ෂා සිසු රක්ෂණය 01 සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා මහතා අත්සන් තැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රු.300,000ක්ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රු.20,000ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රු. 1,500,000ක් දක්වා ප්‍රතිලාභ හිමි වන බවයි. එමෙන්ම අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවකදී – රු.200,000ක්ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000ක්ද, තාවකාලික අකර්මණ්‍යතාවයකදී – 25,000 සිට 100,000 දක්වාද ප්‍රතිලාභ හිමි වන බවත් ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රු.180,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම‘ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවකදී සිසු දරුවකු සඳහා රු.75,000 බැගින්ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000වන බවත් පවුලේ සියලුම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීමද විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *