රජය වෙත ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් 25% විශ්‍රාමික රණවිරුවන්ට

රණවිරුවන්ට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු

රණවිරුවන්ට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු

විශ්‍රාමික/වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පසුගියදා (08), මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගි විය.

යුද්ධ හමුදා මූලස්ථානය විසින් විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩල යටතේ උපකාරක සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ පැමිණිලි වාර්තා කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබූ අතර විශේෂයෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කය තුල පදිංචි විශ්‍රාමික රණවිරුවන් සහ රණවිරු පවුල් වල සාමාජිකයන් බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි විය.

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රමුඛත්වයෙන් දිවයින පුරා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කලේය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් මාතෘ භුමියේ නිදහස වෙනුවෙන් උත්තරීතර කැපවීමෙන් ක්‍රියා කල අපගේ අභීත විරුවන් මෙන්ම යුධ සමයේ එම වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන්, භාර්‍යාවන් සහ දූදරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ අසීමිත කැපකිරීම් පිළිබඳව මෙන්ම රාජකාරි කටයුතුවලදීත්, ඉන් පරිබාහිරවත් ත්‍රිවිධ හමුදාවෙන් සිදුකෙරෙන අපරිමිත සේවය පැසසුමට ලක් කරන ලදි.

විශේෂයෙන්ම පසුගිය දින වලදී අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ආපදා අවස්ථාවේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා වෙහෙස වෙමින් මේ දක්වාම සිදු කරන අතිමහත් සේවය පිළිබඳ සිය ප්‍රශංසාව සහ ස්තූතිය ද පළ කලේය.

ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමට මෙන්ම රුපියල් 100ක විශේෂ නාමමාත්‍රික බද්දකට පමණක් යටත්ව දැනට භුක්ති විදින ඉඩම් වල අයිතිය සදහා බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. එමෙන්ම පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ ලංකා බැංකුවේ සභාපතිතුමා ඇතුළු තවත් රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති පරිදි සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහනදායි පොලී අනුපාතිකයක් යටතේ විශේෂ ණය පහසුකම් ලබාදීමට ද කලින් ලබාගත් ණය මුදල් වෙනුවෙන් වැඩි කරන ලද පොලී අනුපාත නැවත වෙළඳපොලේ අඩු වී ඇති ප්‍රමාණයට අඩු කිරීමටත් යෝජනා කර ඇති බවද ලංකා බැංකුව එම යෝජනාවට දැනටමත් එකග වී ඇති බවත් පැවසීය. තවද විදේශ රැකියා සදහා ලැබෙන රැකියා අවස්ථාවන්ගෙන් 25%ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට හැකි වන බවද ඒ අනුව පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බවද පැවසීය.

ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමටද අවස්ථාව සලසා දෙන ලද අතර, එහිදී ඉදිරිපත්වූ ගැටලු සදහා නිසි පිළියම් හා ක්‍රියාමාර්ග ගැනීමට යුද්ධ හමුදා නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබීය. මෙහිදී පැන නැගුනු යෝජනාවකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන විශ්‍රාමික සාමාජිකයන් වෙනුවෙන් ඒ සදහා යම්කිසි භූමි ප්‍රමාණයක් ලබාදීම සදහා අදාළ බලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

අනතුරුව රට වෙනුවෙන් සිය ජිවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්විණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *