ඉන්දියාවෙන් හා පැරිස් සමාජයෙන් වසර 6ක ණය සහන කාලයක්
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් දීම මෙන්ම ණය ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනුපාතය පහළ දැමීම සම්බන්ධයෙන් එම රටවල අවධානය යොමුව තිබේ.
මේ වන විට ණය දෙන පාර්ශ්වය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින සාකච්ඡා යහපත් මට්ටමක පවතින බවද ණය නියමයන් පිළිබඳ විධිමත් එකඟතාවක් ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයිද නිල ණය දීමේ කමිටුව (Official Creditor Committee [OCC]) ප්‍රකාශ කරයි.
මෙම කමිටුවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවට ණයදී ඇති රටවල් 17ක් පසුගිය වසරේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා පහසු කිරීම සඳහා මේ කමිටුව පිහිටුවා ඇත. චීනය මේ කමිටුවෙන් ඉවත් වූ නමුත් නිරීක්ෂකයකු වශයෙන් සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.
මේ අතර චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දෙන නිල ණය දීමේ කමිටුව ඒ අනුව ඉදිරියේදී චීනය සමඟ එකඟතාවකට පැමිණෙනු ඇතැයිද කියා සිටී. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන පෞද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මේ තීරණාත්මක පියවරක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කර ඇත. චීන ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය සමාන කොන්දේසි මත එකඟ වන බවට ශ්‍රී ලංකාව අදාළ කමිටුවට ප්‍රකාශ කර තිබේ.