සරත් ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්

ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්

ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් නිකුත් කළේය.

සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු, සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු ට මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බල පැවැත්වෙනවා.

සරත් ෆොන්සේකා තම පැමිණිල්ලෙන් කියා සිටින්නේ…

“හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් මා ඊට විරුද්ධව අදහස් පළකළා. දයා රත්නායක යනු රට බංකොලොත් කිරීමට දායක වූ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පාලනයන් යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරය හා වරාය අධිකාරියේ සභාපති ධුරය දරා තිබෙනවා. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂග්‍රාහීව කටයුතු කළ අයෙක්. එවැනි පුද්ගලයෙක් සමගි ජන බලවේගයට එක් කර ගැනීම එම පක්ෂයේ පරමාර්ථ, ප්‍රතිපත්ති හා මූලධර්මවලට පටහැනියි. රාජපක්ෂ රෙජීමයේ දූෂණ වංචා හා සංග්‍රහයන්ට දායකවූ පුද්ගලයෙකු සමගි ජන බලවේගයට බඳවාගැනීම තුළින් පක්ෂය කෙරෙහි තබා තිබෙන මහජන විශ්වාසය පළුදුවීමක් සිදු වෙනවා. මෙවැනි ක්‍රියා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු යැයි සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකොට නිහඬව රහසිගතව තබා ගැනීම තුළින් පාක්ෂිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවෙනවා. මහජන නියෝජිතයකු හා පුරවැසියකු වශයෙන් මා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා” යනුවෙනි.

මෙම පෙත්සම(19) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව අදහස් පළකළ බවත් ඉන් අනතුරුව එම අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටත් පසුගිය කාලයේ මාධ්‍ය වලින් තොරතුරු පළවී තිබූ බවත්ය.

එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම, සාමාජිකත්වයෙන් නෙරපීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරමින් විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂද සිල්වා යන මහත්වරු වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *