අහිමි වූ බදු ආදායම් අය කරගන්න ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවෙන් උපදෙස්

සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් සමාගම් අසීමිත ලාභ ලැබීම සහ රටට බදු මුදල් අහිමිවීම පිළිබද අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බිලියන 16කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බව විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව සඳහන්.

ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කර දේශීය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙස ද එම කාරක සභාව නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙරටට තිරිඟු ආනයනය කර පිටි සකස්කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීමෙන් පසු පිටි නිෂ්පාදනය කළ ප්‍රධාන සමාගම් දෙකක් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බවයි කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

අනතුරුව මාස කිහිපයකින් තිරිඟු පිටි සදහා රු.16ක බද්දක් පැනවීමත්, එමගින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරටට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බවත් කාරක සභාවේ දී අවධාරණය කර තිබෙනවා.

මීට අමතරව පසුගිය නොවැම්බර් 1 දින සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝබර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500ක් පමණ ආනයනය කර ඇති අතර ඉන් පසු සීනි බදු රු.50 දක්වා වැඩි වීම සිදු වී ඇති බවයි එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

සාමාන්‍යයෙන් මාස‍යකදී සීනි ගෙන්වා ඇත්තේ ටොන් 2000ක ප්‍රමාණයක් වුවද බදු වැඩි කිරීමට ආසන්න කාලයේදී මෙසේ අසාමාන්‍ය ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ බදු වැඩි වන බවට තොරතුරු ආනයනකරුන්ට ලැබීම නිසා බවට සාධාරණ සැකයක් මතු වන බව පෙන්වාදුන් සභාපතිවරයා අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබා ගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කර ගන්නා ලෙසද නිර්දේශ කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *