ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩො. මි 15ක්

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩො. මි 15ක්

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩො. මි 15ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් (02) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‌ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 15 මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීමද එහිදී සිදුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදු කළ මෙම මූල්‍ය ප්‍රදානය දෙරට අතර පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද මෙහිදී අවධාරණය කෙරිණි.

බෞද්ධ විහාර ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ධාතුන්වහන්සේලා ප්‍රදර්ශන කිරීම ඇතුළු ආගමික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මෙම මූල්‍ය ප්‍රදානය යොදා ගැනීමට හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වෙනස්වන තත්ත්වය හමුවේ මෙම ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ඉන්දියානු රුපියල දක්වා විනිමය හුවමාරුවක් සිදු කිරීමට දෙරටම එකඟ වී ඇති අතර එය පවතින වෙළෙඳ පොළ තත්ත්වයට අනුකූලව සකස් කිරීමටද එකඟතාව පළවී තිබේ.

මෙම එකඟතාව හුවමාරු කරගත් රාජ්‍ය තාන්ත්‍රික ලේඛන මගින් විධිමත් කරනු ලබන අතර, එය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.

දෙරට අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව ද්වීපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉදිරියේ සිදු කරන ලදී.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය යටතේ ආරම්භ කෙරෙන පළමු ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමද දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීමද සිදු කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *