මාතෘ හා ළමා සෞඛ්‍යයට කෘතිම බුද්ධිය හදුන්වා දීමේ ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාව හැරුණු විට දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් වැඩිම මාතෘ හා ළදරු මරණ අනුපාතයන් වාර්තා කරයි. ලෝකයේ බොහෝ රටවල් කෘතිම බුද්ධිය මාතෘ හා ළමා සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීම සඳහා යොදාගනු ලැබේ.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍යය මීළඟ පිම්ම පැනීමට නම් එම සේවා වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, විවිධ අංශවල පවතින අසමානතා දුරලීම සහ ක්ෂුද්‍ර මට්ටමේ දත්ත අවශ්‍යතාවය ඉස්මතු කර තිබේ.
කැනේඩියානු රජයේ ආධාර මත ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය (IDRC), PHC Gloal සහ GTC foundation යන ආයතන දකුණු ආසියාතික රටවල්වල මාතෘ, ළමා හා යොවුන් වියේ සෞඛ්‍යයට කෘතිම බුද්ධිය අන්තර්ග්‍රහණය කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨය ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවලිය තෝරාගෙන ඇත.
බස්නාහිර පළාතේ ගැබිණි මව්වරුන් දෙදහක් පමණ නියැදියක් යොදාගෙන ඉදිරියට දිවෙන පර්යේෂණයක් මගින් ඔවුනට සහ කුස තුල දරුවාට විය හැකි සංකූලතා පුරෝකතනය කළ හැකි කෘතිම බුද්ධි මෙවලමක් වැඩි දියුණු කිරීම සහ එහි සාර්ථක භාවය ඇගයීම මෙම පර්යේෂණයේ අරමුණයි.
මෙම නියමු ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිඵල මත මෙම කෘතිම බුද්ධි මෙවලම රට පුරාම සහ දරුවා අවුරුදු පහ වන තෙක් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
මාතෘ හා ළමා සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකි මෙම වැඩපිළිවෙල එම ක්ෂේත්‍රයට කෘතිම බුද්ධිය අන්තර් ග්‍රහණය කිරීමේ ප්‍රථම ව්‍යාපෘතියයි.
විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයින් එක්කාසු කර ගනිමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය චම්ලි පුෂ්ප කුමාර මූලිකත්වයෙන් මෙම පර්යේෂණය සිදු කරයි.
මේ පිළිබඳ සැළසුම් කිරීමේ වැඩමුළුවක් පසුගියදා රටවල් හතරක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වුණි. එහිදී කැනේඩියානු මහා කොමසාරිස් එරික් වොල්ෂ්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ සහ ළමා අධ්‍යක්ෂිකා චිත්‍රමාලි ද සිල්වා සහ පරිගණක විශේෂඥ බුද්ධිත හෙට්ටිගේ යන මහත්ම මහත්මීහු ආරාධිත දේශන පැවැත්වුහ.