වැඩි අස්වනු දෙන දෙළුම් ප්‍රභේද දෙකක්

වැඩි අස්වනු දෙන දෙළුම් ප්‍රභේද දෙකක්

වැඩි අස්වනු දෙන දෙළුම් ප්‍රභේද දෙකක්

ශ්‍රී ලංකාවේ වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුනාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණ මේ වනවිට අතිශය සාර්ථක වී ඇත. ඉහල අස්වැන්නක් සහිත මෙන්ම ඉතාමත් මිහිරි රසයකින් යුත් මෙම දෙළුම් ප්‍රභේද දෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තවත් මාස කිහිපයකින් මෙරට වගාව සඳහා හඳුන්වා දීමට නියමිතය.

දැනට අප රටේ බහුලව වගාව සඳහා භාවිතා කරනු ලබන්නේ ආනයනික දෙළුම් විශේෂයන්ය. දෙළුම් බීජ මෙන්ම පලතුරක් ලෙස භාවිතයට ගන්නා දෙළුම් වැඩි ප්‍රමාණයක් මෙරටට ඉන්දියාව හා වෙනත් රටවලින් ආනයනය කරනු ලබයි.

වියළි කලාපීය දේශගුණය යටතේ වගා කළ හැකි මෙම නව ප්‍රභේද දෙක මේ වනවිට පර්යේෂණ වගාවන් නොරොච්චෝල හා වීරවිල ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ ගොවිපොළවල වගා කර ඇති අතර එම වගාවන් සාර්ථක වී තිබේ.

නමුත් මෙම නව ප්‍රභේද වගාව සඳහා ගොවීන්ට නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුවේ Verities Releasing Committee අනුමැතියෙන් පසුවය. කිසියම් ප්‍රභේදයක් වගාව සඳහා අනුමැතිය ලබා දෙන්නේ එම ප්‍රභේදය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසුවය. විශේෂයෙන් භෝගයේ යෝග්‍යතාව සැළකිල්ලට ගැනීම, අස්වැන්න, ඉන් ලැබිය හැකි ආර්ථික වාසි මෙන්ම රෝගවලට ඔරොත්තු දීම වැනි කරුණු රැසක් ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුව සළකා බලනු ලබයි.

ඒ අනුව තවත් මාස තුනක් වැනි කාලයක් තුළ ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුවේ අධීක්ෂණය යටතේ මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගාව සඳහා යෙදවීමට හැකි වෙතැයි අපේක්ෂිතය.

එක් ගසකින් මාස 08ක් තුළ කිලෝග්‍රෑම් 10 – 15ත් අතර අස්වැන්නක් ලබා ගත හැකි අතර ගසක ආයු කාලය වසර 35ක් පමණ වේයැයි දැනට ප්‍රකාශ වී තිබේ. වසර පුරාම ඵල දරණ මෙම ප්‍රභේද ප්‍රධාන කන්නයට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බව මෙතෙක් සිදු කළ පර්යේෂණවලින් තහවුරු වේ.

දෙළුම් යනු දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද වෙළෙඳ පොල තුළ ඉහළ ඉල්ලුමක් ඇති පලතුරකි. විශේෂයෙන්ම පිළිකා රෝගීන් අතර ඉතාමත් ජනප්‍රිය මෙම පලතුර මෙරටට ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 9000ක පමණ මුදලක් වැය කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *