කුකුළු මස් මිලෙහි අඩු වීමක්

කුකුළු මස් මිලෙහි අඩු වීමක්

(02) සිට හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබෙනවා.

කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් (01) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එම සාකච්ඡාවට දැනට අප රටේ කුකුළුමස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් සහභාගි වී සිටියා.

රජය විසින් මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව කී අමාත්‍යවරයා කුකුළු මස් මිලද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස්ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අවධාරණය කළා.

කුකුළු මස් හා බිත්තරවලින් අපේ රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළුමස් මිල ඉහළයාම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ගැටළුවක් වී තිබෙනවා. එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර මිල හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව (02) සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කළා.

කිසියම් සුපීරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙසද එම කර්මාන්තකරුවෝ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *