අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරයි

අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරයි

අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරයි

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට (20) එක් වෙමිනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.

එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකෙරිණි.

දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ නළ පද්ධතියක් සහ කිලෝ මීටර් 120ක බෙදාහැරීමේ නළ පද්ධතියක් මේ යටතේ ඉදිකර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300ක් ආවරණය වන පරිදි 169,000ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නළ ජල පහසුකම හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200ක් ලබාදීම සහ පවතින ජල සබඳතා 27,100ක් වැඩිදියුණු කිරීමටද නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා ජල පද්ධතියද විවෘත කළේය.
අනතුරුව ජල යෝජනා ක්‍රමය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *