රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතුයි

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතුයි

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතුයි

වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතු වන අතර, ඒ සම්බන්ධයෙන් නියෝග ලබා දීමේ හැකියාවක් අභියාචනාධිකරණයට නැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

වයස අවුරුදු 60දී තමන් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය. ව්‍යවස්ථාපිත නීතිය අනුව වයස අවුරුදු 60දී රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

එකී ව්‍යවස්ථාපිත නීතියට පරිබාහිරව යමින් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරන්නේ නම් ඒ සම්බන්ධ තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතු වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඊට මැදිහත්ව නියෝග ලබා දීමට අභියාචනාධිකරණයට හැකියාවක් නැති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර විභාගයට ගැනීමෙන් තොරව මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙකී මූලික විරෝධතාව පිළිගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 17 වැනිදා සිදු කිරීමට තීරණය කළේය. රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ක්‍රියාත්මක වීම අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය එදින තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කරන ලදි. හෘද රෝග, ස්නායු රෝග ඇතුළු විවිධ වෛද්‍ය ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති. විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 තෙක් සේවයෙහි නිරත විය හැකිව තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ. එම වයස් සීමාව අවුරුදු 60තෙක් අඩු කර ඔවුන් විශ්‍රාම ගැන්වීමට 2022-10-17 දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

එම තීරණය නීති විරෝධී වන අතර, අවම වශයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ දිගටම රැඳී සිටීම සිය නීත්‍යනුකූල අපේක්ෂාව බවට මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එබැවින් එම තීරණය බලරහිත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. එම කරුණු සලකා බැලූ අධිකරණය රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ක්‍රියාත්මක වීම අත්හිටුවමින් මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *