ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලාට නීතිය දැඩිවෙයි

ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලාට නීතිය දැඩිව

ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලාට නීතිය දැඩිව

ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තීරණය වී ඇත.

ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම මත පොලිසිය මාර්ගයෙන් අදාළ භික්ෂූ නිකායන්හි මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී පැවසීය.

එසේම එම චෝදනා සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද ක්‍රමවේදයක් යෝජනා කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපනය කිරීමට බලතල ලැබෙන නව පනතක් හදුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

එසේම අඩු වයසින් කුල දරුවන් සසුන් ගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා අනු කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය විය. දුසිල්වත් කටයුතුවල සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාව පිළිබඳවත් කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරිණ. ජනතාව කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කටයුතු සදහා භුක්ති විඳි ඉඩම් (කැනීම් සහ මැනුම් අවසන් කර ඇති) හැර ඉතිරි කොටස් අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දෙදහස් දහසය වසරේදී පැවති කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය රුපියල්.ලක්ෂ 32ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය මේවනතෙක් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල්යාම පිළිබදව සිය අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා මේ සදහා වහාම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

බෞද්ධ පූජනීය ස්ථානවලට සූර්ය විදුලිබල පද්ධති ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදවද මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා වත්කම් ඇති බෞද්ධ පූජනීය ස්ථානවලින් මේ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලවල විනය පිරිහීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. සාමාන්‍යයෙන් බෞද්ධ විශ්ව විදළ්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන්සියයට 45ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්වයක් ඇති බව මෙහිදී තොරතුරු අනාවරණය විය. ඒ අනුව මෙම තත්වය පාලනය කිරීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය

මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉදිරියේදී සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *