සමන්තා පවර් ජනපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි – ජනපති සම්පූර්ණ වැඩපිළිවෙළ විස්තර කරයි

සමන්තා පවර් ජනපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි - ජනපති සම්පූර්ණ වැඩපිළිවෙළ විස්තර කරයි

සමන්තා පවර් ජනපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි - ජනපති සම්පූර්ණ වැඩපිළිවෙළ විස්තර කරයි

විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.

ඒ අනුව දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදු කරන බවත් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහය අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, පරිපාලනය වෙනුවෙන් පළමු කැබිනට් අත්පොත හඳුන්වා දීමට නියමිත බවත්, ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටින් ස්ථාපනය කර ඇති බවත් පැවසීය.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් එක්සත් ජනපදයේද සහය අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

බැංකු ක්ෂේත්‍රය සාපේක්ෂ දුර්වලතාවන් සහිතව ගෙන යන අතර එහෙයින් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ක්‍රම කමිටුව, බැංකු හා මූල්‍ය පිළිබඳ කමිටුව ඇතුළත් ආර්ථික කමිටු සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කාරක සභාව නිර්මාණය කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ සේවාවක් ආරම්භ කරන බවද පැවසීය.

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බව ත් එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, දේශපාලන පක්ෂවලට මුවා වී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවය.

හිටපු කතානායක කරු ජයසූරියගේ සහ වික්ටර් අයිවන් මහතාගේ යෝජනාව පරිදි ජන සභා ක්‍රමය ශක්තිමත් කරමින් බිම් මට්ටමේ ජනතාවගේ අදහස් රටේ ප්‍රතිපත්ති සඳහා දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවත්, එමගින් ග්‍රාම සේවා වසම් 14,000ක ජන සභා 14,000ක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග ඍජු සාකච්ඡාවක් ඇති කර ගෙන ඇති අතර රැඳවුම් කාලය සහ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කළද, දළදා මාළිගාවට පහර දීමට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ට සහ කරුණු තහවුරු වූ ත්‍රස්තවාදීන්ට ඒ යටතේ කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රැකියා ඉලක්ක කරගත් ප්‍රායෝගික උපාධි වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ප්‍රජා විශ්වවිද්‍යාල හෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල දායකත්වය තමන් අපේක්ෂා කරන බව නියෝජිත පිරිසට පැවසීය.

රටේ මූලික පරිපාලන ඒකක 14,000 දක්වාම දිවෙන ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වැඩසටහනක් නුදුරේදීම ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති හෙයින්, ගොවීන් සඳහා ඩොලර් මිලියන 40ක් ලබා දීමට පියවර ගැනීම පිළිබඳ සමන්තා පවර් මහත්මියට ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.

සහල් සහ වෙනත් බෝග හා ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ නිලධාරීන්ගේ දායක්තවය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාර්ථක මහ කන්නයේ වගාවක් වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ද පැවසිය.

මහ කන්නය අපේ රටේ ප්‍රධාන කන්නය වන හෙයින් එය සාර්ථක කර ගැනීමෙන්, අනතුරුව එළැඹෙන යල කන්නය ද සාර්ථක කර ගත හැකි බවත් ඒ අනුව 2023 සාර්ථක කෘෂි අස්වැන්නකට යොමු කර ගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ අදහස්වලට නිසි අවධානයක් යොමු කරමින් පාර්ලිමේන්තු කමිටු සඳහා නියෝජනයක් ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් පස් දෙනෙකුට එක් කමිටුවක් නියෝජනය කිරීමේ හැකියාව හිමි වේ.

ඔවුන්ට ප්‍රධාන වාර්තාව සම්පාදනයට ඍජුව දායක විය නොහැකි වුවත් ඒ වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙයි. මෙය ලෝකයේ පළමු වතාවට සිදුවන අතර ඒ සඳහා යොවුන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීමත් පහසුවක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දූෂණ විරෝධි පනත සක්‍රීය කරමින් කාන්තා සාමානාත්මතාව සහ සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සම්පාදනයට පියවර ගනිමින් සිටී.

මේ අතර, රට තුළ ආන්දෝලනයට ලක්ව ඇති සහ එය පිටුපස සැගවුණු හස්තයක් තිබෙන බව සඳහන් කෙරෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තාක්ෂණික සහ අනෙකුත් සහායන් සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහාය ලබා ගැනිමට තමන් කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

ඉඩම් ගැටලු සහ කොපමණ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරගත හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමට ත්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ත් ප්‍රතිසංස්කරණ සැලසුම් සමාලෝචනය කඩිනම් කිරීමටත්, උතුරු සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථිකයේ සුවිශේෂි මර්මස්ථානයක් බවට පත්වන ත්‍රිකුණාමල සංවර්ධන යෝජනා ක්‍රමය සහ ඒ හා බැඳුණු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *