අසාදු ලේඛන ගත කර තිබූ ආයතන සහ පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට තීරණය කළේ දීර්ඝ නිරීක්ෂණයකින් පසුවයි -ආරක්ෂක අමාත්‍යාංශය

සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ රාජකාරී ගැන වාර්තාවක් කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර

සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ රාජකාරී ගැන වාර්තාවක් කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර

මෙරට අසාදු ලේඛන ගත කර තිබූ ආයතන 6ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කළේ දීර්ඝ නිරීක්ෂණයකින් පසුව කළ නිර්දේශ මත බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙම ආයතන සහ පුද්ගලයින් පිළිබද නිරන්තරයෙන් අවදානයෙන් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ 2001 වසරේ දී පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනවල සහභාගීත්වයෙන් කමිටුවක් පත්කර මෙම පුද්ගලයන්ගේ සහ සංවිධානවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ.

එම දීර්ඝ අධ්‍යයනයෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ දී සාකච්ඡා කිහිපයක්ද පවත්වා අසාදු ලේඛනයෙන් ඉවත් කළ යුතු පුද්ගලයින් සහ සංවිධාන පිළිබද නිර්දේශ ඉදිරිපත් කළ බව එම නිවේදනයේ සදහන්. ඒ අනුව පුද්ගලයින් 316ක් සහ සංවිධාන 6ක් අසාදු ලේඛනයෙන් ඉවත් කළ අතර අලුතෙන් හඳුනාගත් පුද්ගලයින් 55 දෙනෙකු සහ සංවිධාන 3ක් අසාදු ලේඛනයට ඇතුළත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඉදිරියේදීද මෙම ආයතන මෙන්ම විවිධ පුද්ගලයින් හෝ සංවිධාන පිළිබද නිරන්තරයෙන් අවදානයෙන් සිටින අතර ත්‍රස්තවාදය සදහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූ බවට තහවුරු වුවහොත් ඔවුන්ද අසාදු ලේඛන ගත කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
නිවේදනය පහතින්:

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන්අසාධු ලේඛනගතකර ඇති පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධව

2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාළාව යටතේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා ඉහත පුද්ගලයන් සහ සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කර සාක්‍ෂි පදනම් කරගනිමින් දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ පවත්වන ලද සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අසාධු ලේඛනයෙන් ඉවත් කල යුතු සහ ඇතුළත් කල යුතු පුද්ගලයන් හා සංවිධාන පිළිබඳ විශ්ලේෂණය කර නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ඉහත පුද්ගලයන් 577 දෙනා සහ සංවිධාන 18 අතරින් ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 06ක් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.

තවද, මෙම කාල සීමාව තුළ ත්‍රස්තවාදයට මුදල් හා ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවට නවතමයෙන්ම හදුනා ගන්නා ලද පුද්ගලයන් 55 දෙනෙකු සහ සංවිධාන 03ක්ද අසාධු ලේඛනයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ එම නිර්දේශය 2022 ජූනි 29 දින විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා යොමු කිරීමෙන් අනතුරුව පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 15ක් 2022 අගෝස්තු මස 01 දින අංක 2291/02 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අරමුදල් සැපයීමේ යෙදී සිටීම හේතුවෙන් අසාධු ලේඛනගත කර ඇති පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳ නොකඩවා කරනු ලබන නිරීක්‍ෂණයන් සහ අධ්‍යයනයන් වලින් පසු එම පුද්ගලයන් හෝ සංවිධාන අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම හෝ නව පුද්ගලයන් හෝ සංවිධාන අසාධු ලේඛනයට ඇතුළත් කිරීම මේ පිළිබඳව ක්‍රියාකරනු ලබන ආයතන විසින් කාලානූරූපීව සිදුකරනු ලබයි.

අනාගතයේදීද මෙම ආයතන විවිධ පුද්ගලයන් හෝ සංවිධාන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර යම් හෙයකින් එම පුද්ගලයන් හෝ සංවිධාන ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ බව තහවුරු වුවහොත් ඔවුන්ද අසාධු ලේඛන ගත කිරීමට කටයුතු කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින්වැඩිදුරටත් දන්වා සිටිනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *