ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය කරලියට

අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීම අද (ජුලි 28) දින කොළඹ දී සිදු කෙරිණ. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයකි. එමෙන්ම, වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකිය. උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද කැපී පෙනෙයි.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාව ද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple CarPlay සහ Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7ක මල්ටිමීඩියා ස්පර්ෂ තිරයකින් ද සමන්විත නිසා පාරිභෝගිකයන්ට තමන් ප්‍රියකරන ගීත, තොරතුරු හෝ සිතියම් වැනි දෑ සඳහා පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතී. පූර්ණ වායුසමනය කළ මෝටර් රථයක් වන මෙහි push start සහ ඇලෝයි වීල් වැනි විශේෂාංග ද ඇතුළත් වේ. එමෙන්ම, Ideal Moksha රථයේ ඉලෙක්ට්‍රික් මෝටරය සඳහා වසර 2ක පූර්ණ වගකීමක් සහ බැටරියට මිලදී ගත් දින සිට වසර 5ක් දක්වා වගකීමක් හිමි වේ.

ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වූ, අයිඩියල් සමූහයේ නිර්මාතෘ/සභාපති, නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය. මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන ලද්දේ අයිඩියල් සමාගමට අයත් රත්මලානේ පිහිටි හරිත වැඩබිම් පරිශ්‍රයේ දීය (මෙම වැඩබිම පූර්ණ වශයෙන් සූර්ය ශක්තියෙන් බලගන්වා ඇත).

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *