Type to search

අගමැති විශේෂ ප්‍රකාශයක් : 21න් පාර්ලිමේන්තුවට වැඩි බලතල; අලුත් මුදල් නීති; කාරක සභා 15ක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

දැනට ක්‍රියාත්මක මූල්‍ය කාරක සභා 3ට අමතරව තවත් මූල්‍ය කාරක සභා 2ක් සහ අධීක්ෂණ කාරක සභා 10ක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර සිටී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (29) මෙම යෝජනාව සිදු කරනු ලැබුවේ, විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ අතර අද රටේ ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වී නොමැති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න 2ක්ද ඇති බවයි.

”යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා. දෙවැනි ප්‍රශ්නය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කිරීමයි. ඒ කාල වකවානුවත් ක්‍රම වේදයත් පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි”

අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් කියා සිටියේ, ඊට අමතරව 20වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසා වැඩි බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණ වී ඇති බවත්ය.

”ආර්ථික අර්බුදය නතර කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා නොකිරීම අද තිබෙන ප්‍රධාන චෝදනාවක් යෝජිත 21වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා. නමුත් එයින් පමණක් අපට සැහීමකට පත්වන්නට බැහැ. දැන් තිබෙන වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇමතිවරුන් පාලනය කළත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුණ නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අතපසු කළා යැයි කියාත් චෝදනාවක් තිබෙනවා”

තවද මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට එම බලතල ලබා දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැනට පවතින මුදල් නීති දෙස බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්නට කටයුතු කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඒ සඳහා එක්සත් රාජධානිය, නවසීලන්තය, ඉන්දියාව වැනි රටවලින් උදාහරණ ගෙන ශක්තිමත් මුදල් නීති මාලාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි.

අග්‍රාමාත්‍යරයා පැවසුවේ, දැනට පවතින මූල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව යන රජයේ මූල්‍ය කටයුතු පිළිබඳව කාරක සභා තුනේ බලතල ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ඊට අමතරව මුදල් පිිළිබඳ නව කාරක සභා දෙකක්ද ඇති කිරීමට කටයුතු කරන බවත්ය.

ඒ අනුව,
1. ක්‍රම සහ විධි කාරක සභාව: රජයේ තිබෙන ආදායම් එක් රැස් කිරීමේ සහ ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීම මෙම කාරක සභාව මගින් සිදු කෙරෙනු ඇති.

”මෙරට රජයේ ආදායම අඩු වී තිබෙනවා ඊළඟ දශකය තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 18 %ත් 20% ත් අතර අගයකට ගෙන යාමට තිබෙනවා. මූලික වශයෙන් 14%ක අගයකට වැඩි කරන්නට තිබෙනවා”

2. බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව: බැංකු සහ ෆිනෑන්ස් ආයතන ශක්තිමත් කිරීම පිළිබඳ වාර්තා කිරීම මෙම කාරක සභාවට පැවරේ

”දෙවැනිව අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, බැංකුවල සහ ෆිනෑන්ස් ආයතනවල තිබෙන මූල්‍ය තත්ත්වයයි. ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒවා දුර්වල වී තිබෙනවා. එය ශක්තිමත් කරනවා නම් ඒ පිළිබඳව වාර්තා කරන්නත් වෙනම කොමිටියක් අවශ්‍යයි. ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා”

මීට අමතරව අධීක්ෂණ කමිටු 10ක් පත් කිරීමට යෝජනා කරන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එම අධීක්ෂණ කමිටු 10ට ආණ්ඩුවේ තිබෙන විෂයන් බෙදා දිය හැකි බවයි.

”එම අධීක්ෂණ කමිටුවලින් වාර්තා ලබා දෙනවා. එමෙන්ම ඔවුන් ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි”

තවද අග්‍රාමාත්‍යරයා කියා සිටියේ, මූල්‍ය කාරක සභා 5 සහ අධීක්ෂණ කාරක සභා 10 සභාපතිවරුන් ලෙස ඇමතිවරුන් පත් නොකරන බවත් ඒ සඳහා පසු පෙළ මන්ත්‍රීවරුන් පත් කරනු ලබන බවත් ය.

”ඒ අනුව ඇමතිවරයාගෙන් ස්වාධීනවත්, ඇමතිවරයා සමගත් යන අංශ දෙකෙන්ම වැඩ කරන්නට ක්‍රමවේදයක් සැකසීම සඳහා අපට අවස්ථාව තිබෙනවා. ”

මෙම කාරක සභා 15ටම තරුණ නියෝජිතයන් 4 දෙනෙක් පත් කරන ලෙස යෝජනා කරන අග්‍රාමාත්‍යවරයා ඉන් එක් අයෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන් පත් කිරීමටත් අනෙක් තිදෙනා විරෝධය පළ කරන කණ්ඩායම්වලින් සහ අනෙක් කණ්ඩායම්වලින් තෝරා ගැනීමටත් යෝජනා කරනු ලබයි.

”මීට අමතරව අප බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් වැඩ කටයුතු සඳහා සහභාගී කර ගැනීමටයි. මේ වැඩ කටයුතු නිසා තරුණයන්ට ප්‍රශ්න ගැන දැන ගැනීමටත් ඒවාට තමන්ගේ විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබෙනවා. ඒ අනුව වගකිවයුතු තරුණ නායකයන් අපට පුහුණු කරන්න පුළුවන් ඒ අනුව ඔවුන්ට මැතිවරණවලට තමන් කැමති විදියට තරඟ කරන්න හැකියාව ලැබෙනවා”

මීට අමතරව කතානායක, අගමැති, විපක්ෂ නායක, ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් ජාතික සභාවක් පත් කිරීමටද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර සිටී.

”ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි. රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට ජාතික සභාවට පුළුවන්. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කතා කරන්නත් එයට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කරන්නත් ජාතික සභාවට හැකියි. එසේ නම් එය දේශපාලන මණ්ඩලයක් ලෙස හඳුන්වන්න පුළුවන්”

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, කැබිනට් මණ්ඩලයත් කාරක සභා සභාපතිවරුනුත් කැඳවීමට එලෙස පත් කරන ජාතික සභාවට අයිතිය ඇති බවයි.

තවද, නව ක්‍රමයට අනුව ජනාධිපතිවරයා, ඇමති මණ්ඩලය, ජාතික සභාව, කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා 15ත් පාර්ලිමේන්තුවට වග කිව යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් කියා සිටියේය.

”ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න අවශ්‍යයි. එමෙන්ම ඇමති ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි”

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *