ආර්ථික අර්බුදයට හොඳම විසඳුම ආර්ථික යාන්ත්‍රණය පෙරට වඩා වේගවත් කිරීම පමණයි – සංගම් අටක ඒකාබද්ධ නිවේදනය

භාණ්ඩ 369ක ආනයනයට අදාළව පැවති සීමා ඉවතට

භාණ්ඩ 369ක ආනයනයට අදාළව පැවති සීමා ඉවතට

ජීවිත හා දේපළ විනාශ කෙරෙමින් සමාජීය හා දේශපාලන අර්බුදයක් බවට පත්වන ආර්ථික අර්බුදයට හොඳම විසඳුම ආර්ථික යාන්ත්‍රණය පෙරට වඩා වේගවත් කිරීම පමණක් යැයිද ඒ සඳහා පාලකයන්ගේ මෙන් ම සමස්ත ජනයාගේ කැපවීම සීයට සීයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද නිෂ්පාදන, සේවා, අපනයන සහ සැපයුම් යන අංශ නියෝජනය කරන සංගම් අටක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලැබුණත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට විදේශ විනිමයද අත්‍යවශ්‍ය යැයිද ආර්ථික යාන්ත්‍රණය අඛණ්ඩව දියත් කළ හැක්කේ ආරක්ෂිත පරිසරයක් තුළ සේවය සහතික කිරීමෙන් බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම නිවේදනයේ සඳහන් වේ.

ලංකා රබර් භාණ්ඩ නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමය, කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා කාර්ය උපාය ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා රේගු නිෂ්කාශන නියෝජිත සංගමය, බහාලුම් ප්‍රවාහකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ආනයන අපනයන නැව්ගත කරන්නන්ගේ සභාව ඒකාබද්ධව මෙම නිවේදනය යොමුකර ඇත. උද්ගතව ඇති දැඩි අවිනිශ්චිතභාවය දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පෞද්ගලික අංශයට ඉතා නරක ලෙස බලපා ඇති නමුත් එම තත්ත්වය තුළ පවා පෞද්ගලික අංශය ආර්ථික යාන්ත්‍රණය සක්‍රියව පවත්වා ගැනීමට බලවත් වෑයමක් දරමින් සිටින්නේ යැයි ඔවුහු පවසති.

ශ්‍රී ලංකාව දැඩිව ආනයන මත රඳා පවතින රටක් බැවින් සැලකිය යුතු විදේශ විනිමයක් ඒ සඳහා උපයාගත යුතු යැයි ද යම් හෝ සහනයක් සලසා ගැනීමට අවශ්‍ය නම් ආර්ථික යාන්ත්‍රණය සක්‍රියව පවත්වාගත යුතු යැයිද එම සංගම් සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

රටට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් හා ඉන්ධනවල දැඩි හිඟයක් පවතින්නේ යැයිද රටේ දැනට පවතින ද්‍රවශීල විදේශ සංචිතය ඩොලර් මිලියන 50 දක්වා පහළ බැස ඇති බැවින් මේ සම්බන්ධයෙන් සියලු දෙනා බරපතළ ලෙස සිතිය යුතු යැයිද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *