ලොවක් උණුසුම් කළ ජන අරගලයේ ජය

පොර්තො රීකෝ 2019

මාරියා සුළි කුණාටුවෙන් පසුව රාජ්‍ය නැවත ගොඩනැගීමට ගෙන ගිය මන්දගාමී ප්‍රතිපත්තියත් ආණ්ඩුකාරවරයාගේ දූෂිතභාවයත් නිසා 2019 දී පොර්තො රීකෝහි ජනතාව මහ පාරට බැස්සා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ දූෂිත ආණ්ඩුකාරවරයා ඇතුළු පාලන ආණ්ඩුව ඉල්ලා අස් විය යුතු බව.

2019 ජුලි 13 වන දින ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ කාර්යමණ්ඩල විසින් විවිධ දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සිවිල් පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදු කළ කුමන්ත්‍රණවල විද්‍යුත් පණිවුඩ විශාල ප්‍රමාණයක් රටට හෙළි වුණා. මේ සමග ජනතාව දැඩිව ආණ්ඩුකාරවරයාට විරුද්ධව නැගී සිටින්නට පටන් ගත් අතර ආණ්ඩුකාර රොසෙලෝ විසින් මෙය තමා විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත් සිය කැබිනට් මණ්ඩලය අස් වන බවත් කියමින් නිවේදනයක් නිකුත් කළා. කෙසේවෙතත් එම නිවේදනයෙන් කියවුණේ සිය කැබිනට් මණ්ඩලය අස්වූවත් තමා ඉල්ලා අස් නොවන බවයි.

2019 ජුලි 14 වන දින, ඔහුගේ නිවසින් පිටත විරෝධතා ආරම්භ වූ අතර, පොලිසිය නිවස ආරක්ෂා කර ගැනීමට කඳුළු ගෑස් භාවිත කළා. මහජන විරෝධතාවන් සති ගණනාවක් පැවතුණා. විරෝධතා ව්‍යාප්ත වී තීව්‍ර වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන මහා මාර්ගයක් වසා දමා දිවයින පුරා වැඩ වර්ජනයක් පවා සිදුවුණා.

අඛණ්ඩ ජනතා අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් 2019 ජූලි 24 දින, රොසෙලෝ එම වසරේ අගෝස්තු 2 සිට බලපැවැත්වෙන පරිදි ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කළා. 2019 අගෝස්තු 7 වෙනිදා පොර්තො රීකෝ වැසියන් විසින් රටට හිතකර පාලන තන්ත්‍රයක් ගොඩ නගා ගනු ලැබුවා.

දකුණු කොරියාව 2016

එවකට දකුණු කොරියාවේ ජනාධිපතිවරයා වූ පාක් ගුම් හයි විසින් කිසි නිල තත්වයක් නොමැති චෝයි සුන් සිල් නැමැති කාන්තාවකගෙන් පාලනය සඳහා උපදෙස් ගන්නා බව 2016 ඔක්තෝබර් මාසයේ දී රටට හෙළි වුණා. රජයේ නිල තනතුරක් නොතිබූ චෝයිට ජනාධිපතිවරයාගේ රහස්‍ය ලියකියවිලි සහ තොරතුරු සඳහා ප්‍රවේශය ඇති බව හෙළි වුණා. චෝයි නැමති මෙම කාන්තාව ජනාධිපතිවරයාගේ බලය උපයෝගි කරගනිමින් විශාල ක්‍රීඩා ආයතන දෙකක්, ව්‍යාපාරික ආයතන සහ මාධ්‍ය ආයතන කිහිපයක් පිහිටුවා වංචනික ලෙස මුදල් ඉපැයීම ආරම්භ කර තිබෙනවා. ඒ අතරම ඇය රජයේ මුදල් වංචා කර තිබෙනවා. සිය දියණියට වංචනික අයුරින් උපාධියක් ලබා දීමට ද මෙම කාන්තාව ජනාධිපතිවරයාගේ බලය උපයෝගි කරගෙන තිබුණා. මෙම කාන්තාවගේ වංචාවලට උදවු කළ ජනාධිපතිවරයාගේ ඉහළ නිලධාරියෙකු අධිකරණයට පැවසුවේ ජනාධිපතිවරයා විසින් තමාට අණ කළ දේවල් පමණක් තමා සිදු කළ බවත් එම නිසා තමා නිර්දෝෂී බවත්. මෙම සිදුවීම් දාමයත් සමග දූෂිත ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස බල කරමින් උද්ඝෝෂණ රැල්ලක් රට පුරා ආරම්භ වුණා. විශේෂයෙන් ම අගමැතිවරයා ජනාධිපතිවරයාට විරුද්ධ වූ අතර ඔහුව බිය ගැන්වීමට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා. එම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට චෝයි විසින් ජනාධිපතිවරයාට යොමු කළ කෙටි පණිවුඩය හෙළි වීමත් සමග ජනතාව වීදිවලට බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගත්තා.

2016 නොවැම්බර් මාසය වන විට රැල්ලක් ලෙස මෙය දකුණු කොරියාව පුරා පැතිර ගියා. දෙසැම්බර් මාසයේ දී ලක්ෂ 23ක් පමණ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් සෝල් නගරයේ රැඳී සිටියා. කොරියාවේ අනෙකුත් නගරවලත් මේ ආකරයෙන් ම ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයමින් සිටියා.

අධික හිමපතනයක් මැද්දේ වුවත් 2017 ජනවාරි 07 වන දින සෝල් වෙත රැස් වූ ජනතාව ජනාධිපතිවරයාව වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් එකම අවස්ථාවක ඉටිපන්දම් දැල්වූවා. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. මෙම දැවැන්ත විරෝධතාවන් මාස ගණනාවක් අඛණ්ඩව පැවතුණත් දකුණු කොරියානු වැසියන් සිය ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය අත් නොහැර සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා බලයෙන් පහ කර ඔහු සිදු කළ වැරදි සම්බන්ධයෙන් වැරදිකරු කර බන්ධනාගාර ගත කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *