ලංකාවේ ඖෂධ හිඟය නිසා ඉදිරියේදී කෝවිඩ් මරණවලටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තා වේවි – CNN

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ 16,000 ටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ඇති විය හැකි බවට CNN පුවත් සේවය සමග අදහස් දක්වන රාජ්‍ය ඖෂධවේදීන්ගේ සංගමයේ ලේකම් අතුල අමරසේන මහතා පවසයි.

”මේ අර්බුදය කොයි තරම් නරකදැයි අපිට දැන්ම කියන්න බැහැ. නමුත් එය තවදුරටත් අර්බුදකාරී වන බව අපි දන්නවා..”

CNN වාර්තාව පෙන්වා දෙන ආකාරයට රෝහල්වල මෙන්ම ෆාමසිවල ද මේ වන විට දැඩි ඖෂධ හිඟයක් පවතියි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) ද පසුගිය දා ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ රට පුරා රෝහල්වල හදිසි තත්වයන්ට භාවිතා කරන ඔසු සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බවයි. බොහෝ රජයේ රෝහල් සැත්කම් කල් දමමින් සිටින්නේ නිර්වින්දන ඔසු යනාදිය හිඟවී ඇති හෙයිනි.

ආඝාත (strokes) සහ හදවත් රෝගීන්ට හදිසි ප්‍රතිකාර සඳහා ලබාදෙන ඖෂධ හිඟ වෙමින් පවතින බව මේ අතර වාර්තා වේ.

මාස කිහිපයක් තිස්සේ, රටේ ඔසු සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව ප්‍රතික්ෂේප කරමින් සිටි සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය බදාදා දිනයේ මේ බව පිළිගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලංකාවට මේ වන විට ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ලැබී තිබේ. නමුත් එය කවදා ලැබේ ද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් නැත.

මෙම ඖෂධ හිඟය පිටුපස තිබෙන්නේ තනි හේතුවක් නොවන බව ක්ෂේත්‍රයේ ඇතැම් අය කියද්දී, තවත් අය පවසන්නේ මෙය වළක්වා ගත හැකි ව තිබූ, හිතාමතාම නිර්මාණය කළ අර්බුදයක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට අනුව මෙයට හේතුව වී තිබෙන්නේ ආණ්ඩුව ඖෂධ සැපයුම්කරුවන්ගේ ණය පියවීමට අසමත් වීමයි.

ආණ්ඩුව විසින් අනුමත කළ ඖෂධ අයිතම 2,500 අතින් 60 ක් මේ වන විට නියත වශයෙන්ම හිඟ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් කිසිදු රෝගියෙක් මරණයට පත් වූ බව ආණ්ඩුව මෙතෙක් පිළිගෙන නැත.

මේ අතර ලංකාවේ මේ මොහොත වන විට සෞඛ්‍ය ඇමතිවරයෙකු පවා නැත. බලයේ සිටින රෙජීමයට ඉවත් වන ලෙස බල කරමින් මාර්තු 31 වැනිදා ආරම්භ වූ සිවිල් අරගලයේ පසුබිම තුළ දේශපාලන අස්ථාවරත්වය ඔඩු දුවමින් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *