ඩොලර් බිලියනයක ණයක් ගන්න රහසේම ඉන්දියාවට රට පාවාදෙීමේ ගිවිසුම් 05ක් අත්සන් කරලා – සුනිල් හඳුන්නෙත්ති

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙමින් ඩොලර් බිලියනයක කෙටි කාලීන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ගිවිසුම් පහක් මගින් ඉන්දියාවට මෙරට ජාතික ආරක්ෂාව පාවාදී ඇති බව ජනතා විමුක්ති පරෙමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි.

ඔහු මෙම අනාවරණය සිදු කළේ  (25)වැනි දා පෙරවරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී පල කළ අදහස් පහත දැක්වේ…

“මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහින් රුපියල් බිලියනක ණය අරන් ආපසු එන අවස්ථාවේ කොන්දේසි කිසිවක් නැති බව කීවා. නමුත් ඒ කියනකොටත් ගිවිසුම් ගණනාවක් අත්සන් කර තිබුණා. බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය සහ මේ ගිවිසුම් අත්සන් කිරීම ගැන ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය මුලින්ම රටට කියන්න ඕනෑ. බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයට පෙරාතුව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බැවින් කැබිනට් මණ්ඩලයේ ආවරණයට යටත්ව අත්සන් කළ බව සඳහන් වෙනවා. මේ කියන්නේ අත්සන් කරන්න පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අත්සන් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් 5ක් ඇතුළු ගිවිසුම් 7ක් මුදල් ඇමතිගේ ඉන්දියානු සංචාරය හා සම්බන්ධව අත්සන් කර තිබෙනවා.

නිව් ෆෝට්‍රස් සමාගම සමඟ ආණ්ඩුව ගිවිසුම් අත්සන් කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව පක්ෂ සහ සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එල්එම්ජී බලාගාර පවත්වාගෙන යාම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධ ගිවිසුමක් මෙ ආණ්ඩුව අත්සන් කර තිබුණා. රටේ ජාතික ආරක්ෂාවට අදාළව ගුවන, මුහුද, ගොඩබිම යන සියල්ලම ඉන්දියාවේ අණසකට යටත් කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අත්හැරීමක්. ජනතාව පෝලිම්වල ඉන්න අතර, ප්‍රවාහන කටයුතු සැකයකින් තොරව කළ නොහැකිව තිබියෙදී, අහස උසට ජීවන වියදම ඉහළ ගොස් තිබියෙදී රුපියල කඩා වැටී, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ වී තිබියෙදී, කඩදාසි හිඟයෙන් පාසල් දරුවන්ට ප්‍රශ්න පත්තර දෙන්න බැරිව තිබියෙදී මෙම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. අපේ රටේ යුද්දේ කාලෙවත් නොතිබුණු නිරීක්ෂණ ඩ්‍රෝන යානා පාවිචිය, නාවික තටාකාංගනයේ යාත්‍රා රඳවා තැබීම, හදිසියේම ඩිජිටල් හැඳුනුම්පත් ප්‍රශ්නයක් ඇතිවුණේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම අනුව ප්‍රමුඛතා නිසාද?

මේ ආණ්ඩුව බලයට එන අවස්ථාවේ ජන වරමක් ගන්න ඉදිරිපත් නොකළ බොහෝ දේ හදිසියේම සිදු කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා හතක් (07) එක දිනයකදී අනුමත කර තිබෙනවා. ඩ්‍රෝන යානා ආරක්ෂාවට අදාළව 2018 ජනවාරි මාසයේ නව වෙනි දින නවදිල්ලියේ පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සමුළුවේදී සාකච්ඡා වූ බව සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ මීට කලින් හොර රහසේ තිබුණු සැලසුම් මේවා. අපේ රටේ ආර්ථක අර්බුදයත් මූල්‍ය අර්බුදයත් පාවිච්චි කරලා ලංකාව යළි යටත් කර ගන්න වෑයමක් තමයි මේ තියෙන්නේ. අද ඇමරිකාව එක්ක පෙළගැහිලා ඉන්න මෝදිගෙ ඉන්දියාව එක්ක මේ කටයුතු කරන්නේ ලංකාවේ මුදල් ඇමතිකම දරන ඇමරිකානු පුරවැසියෙකුයි. ඒ පුරවැසියන්ට මෙරට ජනතාවගේ බරපතළ ප්‍රශ්න කිසිවක් විසඳන්න අවශ්‍යතාවයක් නැහැ. “ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2022 මාර්තු 15 වෙනි දින ඉදිරිපත් කරන ලද ප්‍රධාන ලිපියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් එකී ප්‍රදානය කිරීමේ ලිපියට අත්සන් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට” මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ කෙටුම්පතට එදාම කමල් ගුණරත්න මහත්තයා අත්සන් කරනවා. ඊට පස්සේ මාර්තු 18 වෙනිදා ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා කැබිනට් සන්දේශය ඉදිරිපත් කරනවා. මේක සාකච්ඡාවට ගන්නේ මාර්තු 21වෙනිදා කැබිනට් මණ්ඩලයේදීයි. නමුත් අනුමැතිය ලබා ගන්න විට ඉන්දියාවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට අත්සන් කරලා ඉවරයි. එහෙම නම් කොන්දේසි නෑ කියලා බැසිල් රාජපක්ෂ කියන්නේ කොහොමද? එයාර්පෝට් එකෙන් එළියට එන්න මේ වගේ ප්‍රකාශ කරලා ලැජ්ජා නැතිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයේ කොන්දේසි ඇතුලත් කරනවා. ආරක්ෂක ගිවිසුම් 05ක් කැබිනට් මණ්ඩලයටත් හොරා මේ අත්සන් කර තිබෙන්නේ මොකටද කියලා ජනතාව අවදියෙන් ඉන්න ඕනෑ.

ඊළඟ කැබිනට් සන්දේශයේ ටොන් 4,000ක පාවෙන තටාකාංගනයක් ස්ථාපිත කරන්න අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ලංකාවේ ධීවරයන්ගේ මාළු සම්පත කොල්ලකාගෙන යද්දි එය වළක්වන්න අත්සන් කරන එකක් නොවෙයි මේක. කොළඹ ඩොක්යාඩ් එක තියෙද්දි මේ වගේ එකක අවශ්‍යතාවය මොකක්ද? ඒ වගේම 2020 පෙබරවාරි 19 වෙනිදා අංක 20/027/23/020 දරන කැබිනට් තීරණය මගින් ජාත්‍යන්තර තරඟකාරී ලන්සු කැඳවා මේ තටාකාංගනය ඉදිකිරීමට මූලික අඩිතාලම දාලා තියෙනවා. ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවා තියෙන්නේ කොහේද? ඉන්දියානු මහ කොමසාරිස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ බලපෑමට සියල්ල කරලා ඉවරයි.
2020 අරන් තිබෙන කැබිනට් තීරණය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා ලන්සු තැබීමේ ක්‍රමයට නොගිහින් බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා එනවා. මේවා යට තියෙන කතාව අපේ රටේ ජනතාව දැන ගන්න ඕනෑ. ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවේ කඩිමුඩියේ මේ ගිවිසුම් අත්සන් කරන්නේ රටේ ජනතාවට හොරෙන්.

මොවුන්ගේ මූලික අරමුණ මේ රටේ ජනතාව පෙළෙන මූලික ප්‍රශ්නවලට උත්තර ලබා දෙන එක නෙමෙයි. 2017 අප්‍රේල 26 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයක් 2018 ජනතාවරි 09 වෙනිදා නවදිල්ලියේ තිබුණු 05 වෙනි ආරක්ෂක සමුළුවට පදනම් කර ගෙන තිබෙනවා. ඩොලර් බිලියන 06ක ලොජිස්ටික් සැපයීමට භාරත් ඉලෙක්ටි්‍රකල් සමාගම යොදා ගන්නවා. මේ ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලස්ථානය යොදා ගන්නවා. එතන ඉඳලා උතුර නැගෙනහිර ඇතුළුව ශ්‍රී ලංකාවේ වෙරළත් නාවික හමුදාවත් මේ ව්‍යාපෘතියට යොදා ගැනීමට නියමිතයි. මෙහෙම දෙයක් කරන්න ආණ්ඩුවට ජනතාව අනුමැතිය ලබාදී තිබෙනවද? සෞභාග්‍යයේ දැක්ම අනුව ජාතික ආරක්ෂාවට අදාළව මෙහෙම දෙයක් කියලා නැහැ. නමුත් දැන් කැබිනට් පත්‍රිකාවට සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ වගේ නිර්වචනත් ඉදිරිපත් කරනවා. හැබැයි ජනතාව ඡන්දය දුන්නේ භාරත් ඉලෙක්ට්‍රොනික් ලිමිටඩ් වගේ ඉන්දීය සමාගම්වලට මේ විදිහේ අවස්ථා හදලා දෙන්න නොවේ. මේ වෙනුවෙන් දරන පිරිවැය නාවික හමුදාවේ වාර්ෂික අයවැයෙන් දරා ගන්නත් සිදුවී තිබෙනවා. එළදෙනගේ හොම්බ අපට දීලා ඉන්දියාව කිරි දොවා ගන්නවා.

යුද්ධය තිබුණු කාලයේ පවා නොතිබුණු තර්ජනයක් අපේ ධීවර ජනතාවට ඉන්දීය ධීවරයන්ගෙන් එල්ලවී තිබියෙදී ආණ්ඩුව ජාතික ආරක්ෂාව පැත්තකට දමා ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ මේ විදිහට. තාක්ෂණ අමාත්‍යංශය යටතේත් ඉදිරිපත් කර තිබෙන කැබිනට් සන්දේශය මේ වගේමයි. තාක්ෂණ ඇමති හැටියට ජනාධිපති 2022 ජනවාරි 28 වෙනිදා මීට අදාළ මුල්ම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඩිජිටල් අනන්‍යතා හැඳුනුම්පත ඉන්දියානු රජයේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය අරන් තියෙනවා. මෝදි අගමැතිතුමා එනකොට කළුකොඩි දාපු අය කැබිනට් මණ්ඩලයේ ඉඳලා මේවට අත ඉස්සුවා. වීරවංශ, ගම්මන්පිල වගේ අය ඩිජිටල් අනන්‍යතා හැඳුනුම්පතට අත ඉස්සුවා. ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරන මේ වෙනුවෙන් කමිටුවක් පිහිටුවනවා. 10 දෙදෙකුගෙන් හදන මේ කමිටුවේ සම සභාපතිත්වය ඉන්දියාවත් ලංකාවත් දරනවා. රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් මේ වෙනුවෙන් පත් කරනවා. මේ වෙනුවෙන් පත් කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තනතුරු 9ක් නම්කර තිබුණත් ඉන්දියාවෙන් පත් කළ යුතු 10 වෙනියාගේ තනතුර සඳහන් කර නැහැ. ඒ අතර නිශ්චිතව නම් කර තිබෙන 9 දෙනාගෙන් 5 දෙනෙකු ඉන්දියාවෙන්. අනික් කෙනා ඉන්දියාවන් පත් කළාම තනතුරු 10න් 6ක් ඉන්දියවේ. ලංකාවට හදන ඩිජිටල් අනන්‍යතා පද්ධතියේ 6 දෙනෙකු ඉන්දියාවේ.

ඩොලර් කෝටි 100කට ලංකාව ඉන්දියාව ළඟ දණගස්වපු පාවාදීමේ ගිවිසුම් මේ වගේ. 1987 ලංකාවට පරිප්පු දාලා බලහත්කාරයෙන් අත්සන් කරවා ගත් ගිවිසුම්වලටත් වඩා භයානක විදිහට මේ ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. ජේ. එන්. ඩික්සිත් මහත්තයා ලියූ ‘කොළඹ භූමිකාව’ පොතේ සඳහන් කරුණු කිහිප ගුණයකින් අද ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ගත්තට පස්සේ චීනෙන් ඩොලර් බිලියන 2.5ක් ගන්න ක්‍රියා කර ගෙන යනවා. චීන විදේශ ඇමතිවරයා හදිසියේම ඉන්දියාවට ඇවිත් ඉන්නවා. ඊට පස්සේ ඇති වෙන තත්වය මොකක්ද? භූ දේශපාලනයේදී ඊළඟට සිදු වන්නේ මොනවාද? ලංකාවේ ඇති කර තිබෙන දරුණු ආර්ථික අර්බුදය ආණ්ඩුව විසින් යැපුම් මාර්ගයක් බවට පත්කර ගෙන තිබෙනවා. විදුලි බල අමාත්‍යංශයෙන් මාර්තු 18 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මීට හොඳම නිදර්ශනයක්. එය විදුලි බල මණ්ඩලය සතු තාප බලාගාර සඳහා හදිසියේ ඉන්ධන මිලදී ගැනීමට අදාළවයි. මේ මාෆියාවේ ප්‍රධානම කොටස තියෙන්නේ හදිසි මිලදී ගැනීම්වලින්. ඩුබායි සමාගමකින් මෙතෙක් අරන් තිබෙන ඉන්ධන වෙනුවට දකුණු අප්‍රිකාවේ සෙන්ට් ඉග්නාසස් එනර්ජි සමාගමෙන් මිලට ගන්න යනවා. ටෙන්ඩර් ඉදිරිපත් කිරීමකින් තොරව වහාම මිලට ගන්න පදනමින් මේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ලංකාවට ඉන්ධන සහ විදුලිය සැපයීම පෙන්වා ජාවාරම් දියත් කර තිබෙන්නේ කැබිනට් අනුමැතියට මුවා වෙලා. මීට අත්සන් කර තිබෙන්නේ සමාගම් නියෝජිතයෙක් හැටියට අකුරු තුනේ රාජපක්ෂ කෙනෙක්. විදුලිබල ඇමති කැබිනට් පත්‍රිකාවට අත්සන් කරනවා විතරයි. දකුණු අප්‍රිකාවේ එක සමාගමකින් ඉන්ධන ගන්න මාර්තු 12 වෙනිදා විදුලිබල ඇමතිවරිය ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවේ ක්‍රියාමාර්ගවල බලවතා වෙනත් අයෙක්. ශ්‍රී ලංකා රුපියල්වලින් 188.06කට ඇමරිකානු ඩොලර් එකක් ලබා ගෙන මේ වෙනුවෙන් ගෙවීමට නියමිතයි. දැන් ඇමරිකන් ඩොලර් එක රුපියල් 290ට යනකොට මේ වගේ කොන්දේසියක් දාන්නේ කොහොමද? හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන මිලදී ගන්නා මේ ගිවිසුම අවුරුදු 05ක් දක්වා අඛණ්ඩව පැවතීමට නියමිතයි. මේවා ජනතාව අතර සංවාදයට ලක් වෙන්නේ නෑ. මේ මොනවාද වෙන්නේ කියලා පවිත්‍රාදේවි දන්නෙත් නැතිව ඇති. ඇත්ත තත්වය මේක. මේ විදිහේ අර්බුද හදලා උත්තර හොයන්නේ මේ වගේ අපරාධවලින්. රාජපක්ෂවරු යුද්ධය කරලා රට බේරා ගත්තා කියලා, ජාතිවාදය සහ ආගම්වාදය පාවිච්චි කරලා ඇත්තටම කටයුතු කරන්නේ මේ ආකාරයටයි.

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද පඩි ගෙවා ගන්නවත් බැරි තත්වයට පත් කරලා, නායකයින් අර්බුදයේ දියබුං ගහනවා. මේ ගැන සිහි බුද්ධියෙන් ඉන්න කියලා අපි මේ රටේ ජනතාවට කියනවා. මේක කොරෝනා සම්බන්ධ අර්බුදයක් හරි ආර්ථිකයේ අර්බුදයක් හරි නොවෙයි. ඩොලර් අර්බුදය පෙන්වලා අපේ රටේ ජනතාවගේ රීරි මාංශයම උලා කනවා. මේ මාපිලුන්ව පරාජයට පත් කරන්න ඕනෑ. මේ තත්වයන් ගැන රටත් ජනතාවත් අවදියෙන් සිටින ලෙස අපි ඉල්ලා සිටිනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *