විශ්වාස කළ හැකි පාලනයක් රටේ ඇතිවන තෙක් ඩොලර් එවන්නේ නෑ – වෙනසක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ සංවිධානය

ලංකා රජය තවත් ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් කරයි

ලංකා රජය තවත් ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් කරයි

මේ පාලනය අවසන් කර විශ්වාස කළ හැකි ජනතා හිතවාදී පාලනයක් රටේ ඇතිවන තෙක් තමන් ශ්‍රී ලංකාවට ඩොලර් එවීමෙන් වැළකී සිටින බව වෙනසක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ නමැති සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පළමුවෙන් 2022.03.16 දින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ විරෝධය ප්‍රකාශ කර සිටිමු. එසේම ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය බරපතළ ආර්ථික අර්බුදයක ගිලී ජන ජීවිතය අවම පහසුකම් යටතේ හෝ පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇති මෙවැනි මොහොතක රටක ජනාධිපතිවරයෙකු මීට වඩා වගකීම් සම්පන්න මැදිහත්වීමක් සිදුකළ යුතු බව අපගේ විශ්වාසයයි.

එහෙත් ජනාධිපතිවරයාගේ කතාව තුළ අන්තර්ගතව තිබුණේ මේ කිසිවකට තමන් වග නොකියන බව සහ වෙනත් පාර්ශවයන් සහ ලෝක තත්ත්වයන් අර්බුදයට හේතුව බවයි. මෙය කොවිඩ් වසංගතය, යුධ සහ තවත් හේතූන් නිසා ලෝකයේ හැම රටකටම ඇති වී තිබෙන තත්වයක් බව ජනාධිපතිවරයා සඳහන් කළත් ඒ නිසා ඇති වූ ගැටලුකාරී තත්වයන් ලෝකයේ අනෙක් රටවල් ඉතා ඉක්මණින් කළමනාකරණය කර ගත් බව පෞද්ගලිකව අපි දෑස් ඉදිරිපිටම දැක ඇත්තෙමු. ඒ නිසා ජනාධිපතිවරයා ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය සහ වෙනත් ලෝක තත්වයන් බව පැවසීම අතිශය සාවද්‍ය, ජනතාව නොමග යවන වගකීම් විරහිත ප්‍රකාශයකි. එසේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව පිළිගනිමින් ඊට ආණ්ඩුවේ විසඳුම් මොනවාද යන්න රටට ප්‍රකාශ කළ යුතුව තිබියදී ඉතාමත් සරළ ලෙස සංචාරකයන්ගෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට එවන මුදල් වලින් රටේ විනිමය අර්බුදය විසඳා ගැනීමට බලා සිටීම හාස්‍යජනක කටයුත්තකි.

මේ අර්බුදය පැන නැගුණේ සංචාරකයන් නොපැමිණීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට මුදල් නොඑවීම හෝ රටේ ජනතාව තම වගකීම් පැහැර හැරි නිසා නොවන බව අපි දනිමු.

මේ වන විට රටට ඩොලර් එවූ විදෙස්ගත අපගේ පවුල්වල දරුවන් සහ ඥාතීන් පවා ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල, විදුලිය නොමැතිව අඳුරේ තබන්නට කටයුතු කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාද ඇතුළුව රටේ පාලකයන්ය. අප එ වූ මුදල් නාස්ති කළේ, වංචා කළේ රටම බිඳ වැටෙද්දී පවා තමන්ගේ සුභ විහරණයට ඒ මුදල් යොදා ගත්තේ බලයේ සිටි සහ වර්තමානයේද සිටින දේශපාලකයන්ය. ඒ නිසා මෙතෙක් කල් රටට ඩොලර් එවූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප මින් ඉදිරියට මේ පාලනය අවසන් කර අපට විශ්වාස කළ හැකි අදූෂිත ජනතා හිතවාදී පාලනයක් ඇති වන තෙක් ඩොලර් එවීමෙන් වැළකී සිටින බව නිවේදනය කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *