ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තර සහතිකයක්

යුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (GI) සහතිකය පළමුවරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා ලැබී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ “ශ්‍රී ලංකා කුරුඳු” සඳහා එම සහතිකය (02)වන දින ලබාදීමට  යුරෝපීය කොමිසම කටයුතු කර ඇති බවය.

GI තත්ත්වය ලියාපදිංචියේ අරමුණ වන්නේ (EU) යුරෝපා වෙළෙඳපොළේ ඇති ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) අනෙකුත් අඩු ගුණාත්මක කුරුඳුවලින් වෙන්කර හඳුනා ගැනීමය.

ඒ අනුව මෙය දශකයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් රැසකගේ සහාය සහ දැඩි උත්සාහයෙන් ලැබූ ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම තත්ත්වය ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) විසින් තාක්ෂණික සහාය ලබාදී තිබේ.

මූල්‍ය ආධාර නෙදර්ලන්තය පදනම් කරගත් වෙළෙඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදල විසින් ප්‍රදානය කර තිබුණි.

“මෙය ඓතිහාසික වැදගත්කමක් ඇති මොහොතක්, එමෙන්ම මෙය ශ්‍රී ලංකාවට තරගකාරී සහ වාසිදායක ලෙස ක්‍රියාකරන අතර එමගින් වෙළෙඳපොළ විවිධත්වය, නිෂ්පාදන ප්‍ර‍මාණය වැඩිකිරීමට සහ පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් ලබාගැනීමට ඉඩ සැලසේ,” යනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.

2021 වර්ෂය තුළ දී කුරුඳු අපනයන මගින් ශ්‍රී ලංකාව ඇ. ඩොලර් මිලියන 230 ආදායමක් උපයා ඇත.

කුරුඳු නිෂ්පාදනය සහ සැකසීමේ නිරත පාර්ශ්වකරුවන් 30,000කට පමණ මෙමඟින් ප්‍රතිලාභ ලැබෙයි.

GI තත්ත්වය ලබා ගැනීමේ පියවරක් ලෙස, දිවයිනේ කුරුඳු කර්මාන්තයේ සියලුම පාර්ශවකරුවන් නියෝජනය කරමින් ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය (Ceylon Cinnamon Geographical Indication Association) පිහිටුවන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *