ආණ්ඩුවයි හා පොලීසියයි නාටකයක් රඟ දක්වනවා – කාදිනල් හිමි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දී පැවසූහ.

එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව තමන් සමඟ සබඳතා පවත්වන බලවත් රටවල් වෙත ද ගොස් සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බෝම්බය හමුවූ දින සවස්වරුවේ සී.සී.ටී.වී දර්ශන පරීක්‍ෂා කිරීම ප්‍රමාණවත් බව පොලීසිය කියා තිබුණත් උදෑසන දර්ශන නරඹන ලෙස තමන් පියතුමන්ලාට දැනුම් දුන්නේ ඒ නිසා බව ද ප්‍රකාශ කළහ.

මෙය මුනි නැමැත්තා මත පටවා අත සෝදාගැනීමට පොලීසිය උත්සහ කළ බව කී කාදිනල්තුමෝ එවැනි දේ වීමට ඉඩදිය නොහැකි බවත්, අධිකරණය ගැන විශ්වාසය තබා පොලීසිය කළ වරද අධිකරණයේදී නිවැරදි කරවීමට කටයුතු කරන බවත් පැවසූහ.

මේ ගැන පරීක්‍ෂණ අවසන් වන්නටත් පෙර මෙය මෙන්ම නාරාහේන්පිට රෝහලක තිබූ බෝම්බය එකම අයෙක් තැබූ බව පොලීසිය භාර ඇමතිවරයා ප්‍රකාශ කිරීම ගැටලුවක් බවත්, පොලීසිය මිනිස්සුන්ට තර්ජනය කර ප්‍රකාශ ගෙන ලබාදීමට යන යුක්තිය පිළිනොගන්නා බවත් කාදිනල්තුමෝ කීහ.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකරගැනීම සඳහා තමන් හා සම්බන්ධව කටයුතු කරන තිදෙනකුට ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබෙන බවත් ඒ අනුව මේ මස අවසානයේ පමණ සිට එම සංවිධානය ඍජුව ගණුදෙනු කිරීමට අවස්ථාව හිමිවන බවත් කී කාදිනල්තුමෝ වින්දිතයන්ට යුක්තිය සොයාගෙන යන ගමනේ දී එය මහත් රුකුලක් වනු ඇතැයි ප්‍රකාශ කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *