රුසියානු ජාතිකයන් තිදෙනෙකු සිදුකල සතුන් 529ගේ ජාන කොල්ලය හසුවෙයි – ඉතිහාසයේ වැඩිම දඩ මුදල නියම කරයි

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක
නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා (21)වන දින නියෝග කළේය.

මෙලෙස දඩ නියම වුයේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටේම් සහ කිලෆයාන් නිකොලයි නැමැති රුසියානු ජාතිකයන් තිදෙනාහටය. චෝදනා 102 සඳහා එක් අයෙකුට රුපියල් 2,885,000 ක් බැගින් තිදෙනාහට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවීමට මෙලෙස නියෝග කෙරිණි.

මෙම රුසියානු ජාතිකයන් තිදෙනා මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයින්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23 ට අයත් සතුන් 529 ක් හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොලක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 වසරේ පෙබරවාරි මස 26 දින අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *