පොලිස්පතිවරයාගේ කෝට් එක ගලවන්න කියන්න කාදිනල් හිමිට අයිතියක් නැහැ! – ආරක්ෂක ලේකම්

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්හිමියන් නොවන නිසා එය ගලවා ගෙදර යන්න කියන්න කාදිනල් හිමියන්ට අයිතියක් නැති බවට තමන් අදහස් කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා,(15)වන දින මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැනුණු අත් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවටත් එම පරීක්ෂණ ගැන පොලීසිය ක්‍රියාකරන ආකාරය ගැනත් පසුගියදා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විවේචනයක් සිදු කළා.

”අත්තමටම ඉතින් මෙතැනදී කාදිනල් තුමාට මගේ තියෙන ගෞරවය නිසා කියන්නේ මොකද එතුමා නෙවෙයි පොලිස්පතිතුමාට කෝට් එක දුන්නේ. මම දන්නේ නැහැ කාදිනල්තුමාට අයිතියක් තියෙනවද කියල පොලිස්පතිතුමාගේ කෝට් එක ගලවල යන්න කියල කියන්න. බුද්ධිමත් ජනතාව දන්නවා මේවා ගැන. ඉතින් ඒක නිසා පොලිස්පතිතුමා නම් ඔය කියන පමණින් කෝට් එක ගලවල යන එකක් නැහැ. නමුත් පොලිස්පතිතුමා මේ ගැන අවශ්‍ය පරීක්ෂණ නිසිපරිදි මෙහෙයවන බව මම ආරක්ෂක ලේකම්වරයා විදිහට දන්නවා.” යනුවෙන් එහිදී කමල් ගුණරත්න මහතා කියාසිටියේය.

”අත් බෝම්බයක් හමුවුණා කියන එකෙන් ජාතික ආරක්ෂාව පහත වැටීමක් වෙනවා කියන එක අපිට පිළිගන්න බැහැ. ජාතික ආරක්ෂාව කියන්න ඊට වැඩිය විශාල පරාසයක් තියෙන දෙයක්. මේ වගේ සිද්ධීන් තැන් තැන් වල සිදුකරන්න මොකක් හරි වෙනත් අදහසක් හිතේ තියෙන අය උත්සහ කරන්න පුළුවන්. නමුත් අපි ඒ උත්සහයන් වළක්වන්නත් ඒ වගේම එවැනි උත්සහ කරන අය නීතියේ රැහැනට ගේන්නත් අවශ්‍ය හැමදේම කරනවා. ඒ නිසා මහජනතාවට විශේෂ බියක් ඇතිකරගත යුතු නැහැ. ”

”පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය දෙක තුනක් ඇතුළත ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. මම කියන්නේ නැහැ මාස 7,8ක් අවශ්‍යයි කියල. අඩුම ගානේ දවස් කිහිපයක් හරි අවශ්‍යයි. ඉතින් අපේ පොලීසියත්, රහස් පොලීසියත්,බුද්ධි අංශත්,දේවස්ථාන ආරක්ෂාව ගැන අපි විශේෂ සැලකිලිමත්භාවයක් දක්වනවා. තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිද්ධ කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. ඒක නිසා මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පැය දෙක තුනක් නැත්නම් පැය 24ක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් නම් ඒක ප්‍රාතිහාර්යයක්. ඒක නිසා යම් කිසි කාල සීමාවක් අවශ්‍යයි. නමුත් මම ආරක්ෂක ලේකම් විදිහට මම සහතිකයක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයන් නීතියේ රැහැනට ගේනවා කියල. දැනටමත් අපි ඒ සඳහා සෑහෙන දුරක් ගිහින් තියෙනවා. රටේ ජනතාව දන්නවට වැඩිය සෑහෙන දුරක් අපි ඒ පරීක්ෂණය දැන් ගෙනිහින් තියෙනවා.

කාදිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කළාට උන්වහන්සේ හිතනවට වැඩිය දුරක් හිතල ඒ පරීක්ෂණ අවශ්‍ය පරිදි කරන්න රහස් පොලීසියටත් පොලීසියේ නිලධාරී මහත්වරුන්ටත් හැකියාව තියෙනවා. ඒක නිසා හදිස්සි වෙලා ඒ අයට පරීක්ෂණ කරන ආකාරය උගන්වන්නවත් ඒ අය කරපු විදිහ විවේචනය කරන්නේවත් නැතුව පොඩ්ඩක් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. ඉඩදීලා අවසාන ප්‍රතිඵලය බලලා ඒ ගැන සෑහීමකට පත්වෙන්න බැරිනම් ඕනෑම කෙනෙක් විවේචනය කළාට කමක් නැහැ. නමුත් එකම දේ පරීක්ෂණය කරන්න ඕනේ. පරීක්ෂණය ඉවර වෙන්න ඕනේ. ඒ වගේම පරීක්ෂණය කරපු නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ වැරදි කාරයින් බවට ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි ඇතුව. එහෙම නැතුව නිකම් මේ නීතිය ඉදිරියට පමුණුවල කවදාවත් ඒ වැරදි කාරයින්ට දඬුවම් ලැබෙන්නේ නැහැ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *