ඉදිරියේදී පිටරටින් වැලිත් ආනයනය කරන්න වෙයිද?

වසර කිහිපයක් තුළදී රට තුළ වැලි හිගයක් ඇතිවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විශේෂයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි තොග සපයා ගැනීම ගැටලුවක් වනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ඇතුළු 2025 වසර දක්වා මෙරට ඉදිකිරීම් සඳහා වැලි ඝන මීටර් මිලියන 57 ක් අවශ්‍ය වනු ඇති බවට ගණන් බලා ඇති අතර ඉන් මිලියන 42 ක් පමණක් සපයා ගත හැකි වනු ඇති බව පරිසර අමාත්‍යවරයා පවසනවා. ඉතිරි ඝන මීටර් 15 ක හිගය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පරිසර අමාත්‍යංශය මේ වනවිට සාකච්ඡා කරමින් සිටී.

මෙම තත්වය මත ඉදිරියේදී පිටරටින් වැලි ආනයනය කිරීමට සිදුවනු ඇති බවද අමරවීර මහතා සඳහන් කරයි.

දැනට සිදු කරන ගංගාවලින් වැලි ලබා ගැනීමට මෙන්ම ගැඹුරු මුහුදෙන් වැලි කැනීම සඳහාද පරිසරවේදීන්ගේ විරෝධය එල්ල වෙමින් පවතී.

ගල්, පස්, බොරලු, මැටි ආදිය පිළිබඳව දැනට කිසිදු අර්බුදයක් නොමැති බවද පරිසර ඇමතිවරයා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *