සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මගින් මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙතට ප්‍රතිචාරයක්

තම සභාවට එරෙහි චෝදනාව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) තරයේ ප්‍රතික්ෂේප කරයි.

අප සභාව විසින් වසර 42 කට පෙර නිකුත් කරන ලද, ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු ආගමික තීන්දුවක් සම්බන්ධයෙන් පැමිණිලි කරමින් අධිකරණ අමාත්‍යවරයා වෙත නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) සිය බලවත් කණගාටුව පළ කරයි. යම් ගැටලුවක් උද්ගතව ඇත්නම් ඒ පිළිබඳව විමසීම සඳහා තුන්වැනි පාර්ශ්ව වෙත නොයා, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික විද්වතුන් නියෝජනය කරන අප සභාව වෙත පැමිණ එම ගැටලුව ඉදිරිපත් කර සත්‍යාපනය කරගැනීමට කටයුතු කිරීම, වගකිවයුතු සහ උගත් පුද්ගලයෙක් මෙන්ම මහාචාර්යවරයෙක් ලෙස යෝග්‍ය වේ.

ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නගන චෝදනාව වන්නේ මීට වසර 42කට පෙර අප සභාව විසින් “අධිකරණ ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව, ඝාතන සිදුකිරීම සඳහා තීන්දුවක්” ලබාදුන් බවයි. එකී චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන අතර, එය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සියලු මුස්ලිම්වරුන්ගේ අති ගෞරවයට පාත්‍ර වූ, එකල අප සභාවේ තනතුරු දැරූ පුරෝගාමී ජ්‍යෙෂ්ඨ ආගමික විද්වතුන් හට දැඩි සේ අපහාසාත්මක වේ.

තවද, මෑතකදී පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට අදාළව එරට ජනතාව සහ රජය විසින් වින්දිතයාගේ පවුලට කළ හැකි උපරිම සාධාරණය ඉටුකර තිබියදී, දීර්ඝ කාලයක් තිස්සේ විසඳී තිබූ ගැටළුවක් එකී අමානුෂීය ක්‍රියාව හා සම්බන්ධ කරමින් ඔබ විසින් නැවත මතු කරන්නේ මන්දැයි අපට විමසීමට සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අත්දකින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරමින් සිටින මොහොතක, අපගේ මූලික අවශ්‍යතා සඳහා හා අත්‍යවශ්‍ය ආනයනයන් සපුරාලීම සඳහා පකිස්ථානය ඇතුළු විදේශ රටවලින් අවශ්‍ය බාහිර අරමුදල් කඩිනමින් රැස් කර ගැනීමට අපට සියලු අංශවල සහාය අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, කරුණු නිරවුල් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් පහත දැක්වෙන කරුණු පිළිබඳ සඳහනක් කිරීමට කැමැත්තෙමු:

අප සභාව, ඉස්ලාමීය ආගමික කටයුතු සම්බන්ධයෙන් පමණක් මගපෙන්වීම් ලබා දෙන ආගමික ආයතනයක් වන බැවින්, කිසිඳු කරුණක් පිළිබඳව අධිකරණමය මට්ටමින් බැඳෙන තීන්දු නිකුත් කිරීමට අපට බලතල නොමැත.

අප සභාව විසින් ඉස්ලාමීය ආගමික කරුණු සම්බන්ධයෙන් නිකුත් කරන්නේ ස්වේච්ඡාවෙන්, අවශ්‍ය නම් අනුගමනය කළ හැකි ආගමික තීන්දු හා මගපෙන්වීම් පමණි.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සහ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරු ලෙස අපි, සෙසු පුරවැසියන් මෙන්ම මේ රටේ එකම අධිකරණ පද්ධතියක් යටතේ සිටින බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත්, ඒ ඒ දහම්වල මූලික මූලධර්මවලට පටහැනි සහ ආගන්තුක මතවාදයන් පිළිබඳව ඒ ඒ ප්‍රජාවන්ට පැහැදිලි කිරීම සහ මඟපෙන්වීම ආගමික ආයතනවල වගකීමකි. තවද යමෙක් දහමේ නාමය භාවිත කර සමාජය නොමග යවන්නේ නම්, එම මතවාදයේ වැරදි සහ විකෘති බව හුවාදක්වමින්, ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු ආගමික තීන්දු නිකුත් කරමින් ජනතාව දැනුවත් කිරීම ද එවැනි ආගමික ආයතනවල යුතුකමකි.

රටේ සෑම අංශයකටම බලපාන පරිදි බරපතල ආර්ථික දුෂ්කරතා උද්ගතව ඇති අවස්ථාවක, මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ පිටපත් රචකයා විසින් රටේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා මහජනතාව එකමුතු කිරීමට කටයුතු නොකොට, සියල්කොට් හි සිද්ධිය අදාළ නොවන කරුණක් තහවුරු කිරීම සඳහා ඈඳාගනිමින්, පාකිස්ථානය සමග රජයක් ලෙස පවත්වාගෙන ඇති සබඳතාවට හානි කිරීමට උත්සාහ කිරීම සහ ඒ වෙනුවට අන්තහ්-ආගමික ගැටලු මත සමාජය බෙදීමට උත්සාහ කිරීම ගැන අපේ දැඩි කණගාටුව ප්‍රකාශ කරමු.

දුෂ්ට බලවේගවල බලපෑම නිසා දුර්මඟ නොයා, අප සමග සුහද සාකච්ඡාවක් සඳහා පැමිණෙන මෙන් අපි ගරු රාජ්‍ය ඇමතිවරයාට කාරුණිකව ආරාධනා කරන්නෙමු.

සත්‍යය හා යුක්තිය දිනේවා!

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *