මහ පොළොව ඉඹලා ඡන්ද ගත්ත දේශප්‍රේමීන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකිත් රහසේම විකුණයි – නලින්ද ජයතිස්ස

මහපොළව ඉඹලා කමිසයේ උඩ සාක්කුවේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් බලයට ආ දේශප්‍රේමීන් අද තෙල් ටැංකි ටිකටත් අත තබා ඇතැයි ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ කළේය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙන්නේ රටේ ජාතික සම්පත් විකුණපු දේපළත් යළි පවරා ගන්නවා කියලා. මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ නිශ්චිතවම මේක කිව්වා. එක කාලයක් ඔවුන් පොළොව ඉඹලා පෙන්නුවා. කමිසයේ උඩ සාක්කුවේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් හිටියා. කතාවක් අවසානයේ මවුබිමට ආදරෙයි කියලා තුන්හතර සැරයක් කියන්න පටන් ගත්තා. මේ නිසා ජනතාව හිතුවා විකුණන්නේ නෑ විතරක් නෙවෙයි විකුණපු දේවල් ආපසු පවරා ගනියි කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ එජාපය විකුණපු හම්බන්තොට වරාය, 2015ට කලින් විකුණපු කොළඹ වරායේ දකුණු ජැටිය ඇතුළු විකුණපු පර්යන්ත යළි රජයට පවරා ගනී කියලා ජනතාව බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි හරියට බදු ගිවිසුමක්වත් ගහලා නැතිව ඉන්දියාව භාවිත කරන ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටිකත් රජය සතු කර ගනී කියලා බලාගෙන හිටියා. නමුත් මාස 25ක් ගත වෙනකොට හම්බන්තොට වරාය ගත්ත සමාගමට තවත් දේවල් දීලා තියෙනවා. ඉන්දියාවේ බටහිර ජැටිය අදානි සමාගමට ලබාදීල ඉවරයි. කොළඹ වරාය වටේ තියෙන වැදගත්, ඓතිහාසික ඉඩම් කිහිපයක් සෙලෙන්දිවා මඟින් විකුණන්න දාලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් තවත් ඉඩම් ගණනාවක් විකුණන්න බලාගෙන ඉන්නවා. උෟව වෙල්ලස්ස ඉඩම් විකුණන්න අත තියලා.

මේ අතර තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකිණීම කරළියට එන්නේ. තෙල් ටැංකි 101ක් බි්‍රතාන්‍ය ආණ්ඩුව ඉදිකරලා තිබුණා. ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ මේ තෙල් ටැංකි ඉදිකළේ යුද සහ වෙළෙඳ නැව්වලට තෙල් සපයන්නයි. දෙවැනි ලෝක යුද සමයේදී බෝම්බ හෙළීම නිසා තෙල් ටැංකි 02ක් විනාශ වුණා. 1948 අපේ රටට නිදහස ලබාදෙන අවස්ථාවේ මේ තෙල් ටැංකි බි්‍රතාන්‍යය සතු කර ගන්න උත්සාහ කළා. ලෝක දේශපාලන බල පෙරළියත් සමඟ 1964දී ලංකා ආණ්ඩුව විවිධ උත්සහයන් කරලා බි්‍රතාන්‍ය ස්ටර්ලිං පවුම් ලක්ෂ දෙකහමාරක් බි්‍රතාන්‍ය නාවික හමුදාවට ගෙවලා මේ තෙල් ටැංකි 99 රට සතු කර ගත්තා. නමුත් මේ තෙල් ටැංකි සංවර්ධනය කරන්න පැවැති ආණ්ඩුවලට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. 1987 කාලයේ මෙම තෙල් ටැංකි ඇමෙරිකාවට ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන උත්සහ කළත් ඉන්දියානු බලපෑම් නිසා එය සිදු කර ගන්න නොහැකි වුණෙත් ඉන්දු – ලංකා ගිවිසුම එන්නේත් මෙම තෙල් ටැංකිවලට තිබුණ බලපෑම් පදනම් කරගෙනයි.

බලයට පත් වුණු එජාප ආණ්ඩුවේ මිලින්ද මොරගොඩ ඇමැතිවරයා 2002 මැයි 21 තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමකට බදු දෙන්න කැබිනට් පත්‍රිකාවක් ගේනවා. අද මේ ආණ්ඩුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස පත් කර සිටින්නේ ඒ මිලින්ද මොරගොඩ හිටපු ඇමැතිවරයායි. ඒ කැබිනට් පත්‍රිකාවේ ප්‍රතිඵලයක් ලෙස 2002 ජුනි 11 වැනිදා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් තබනවා. ඉන් පසුව 2003 පෙබරවාරි 07 වෙනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අයි.ඕ.සී. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස විසින් ගිවිසුමක් අස්සන් කරනවා. ඒ ගිවිසුම අනුව මාස 06කින් බදු ගිවිසුමකට යා යුතු බව කියනවා. නමුත් දැන් වසර 18ක් ගත වෙලත් බදු ගිවිසුමක් අස්සන් කර නැහැ. නමුත් ඉන්දියානු සමාගම තෙල් ටැංකි 14ක් භාවිත කරමින් ඉන්නවා. කෙසේ වෙතත් මෙම තෙල් ටැංකි 99 සඳහා ඩොලර් ලක්ෂය බැගින් අවුරුද්දකට ලංකා රජයට ලබාදෙනවා. එය අනීතික වැඩක්. මොකද බදු ගිවිසුමක් නැහැ.

මේ ඉන්දියානු ඔයිල් සමාගමට 2004දී අවුරුදු 20කට තෙල් ආනයනය ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා බලපත්‍රයක් ලබාදුන්නා. තව වසර දෙකකින් එම බලපත්‍රය අහෝසි වෙනවා. එම නිසා බලපත්‍රය අලුත් කළේ නැත්නම් ඉන්දියානු සමාගමට තෙල් ටැංකි පවත්වාගෙන යෑමෙන් පලක් නැති වෙනවා. එම නිසා මෙම තෙල් ටැංකි සංකීර්ණය ලංකාවේ රජය සතු කරගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. එවැනි අවස්ථාවක් උදාවෙලා තියෙද්දී විකුණපු දේවලුත් පවරා ගන්නවා කියපු ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල අලුත් සෙල්ලමක් පටන් අරගෙන තිබෙනවා. කොහොමත් බදු ගිවිසුමක් නොමැතිව ඉන්දියානු සමාගම තෙල් ටැංකි භාවිත කරන නිසා ලංකාවට නීත්‍යනුකූල අයිතියක් තිබෙනවා මේවා පවරා ගන්න. ඒ වෙනුවට 2021 දෙසැම්බර් 20 වැනිදා ගම්මන්පිල ඇමැතිවරයා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පදනම් කරගෙන ටි්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියන ආයතනය පිහිටුවන්න කියලා. මේ ලිපියෙන් උදය ගම්මන්පිල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමට අයිතියක් තිබෙන බවට හිතාමතා වගන්තියක් ඇතුල් කරනවා. එය බරපතළ ගැටලුවක්. විකෘතියක්. ඇමැතිවරයා පිළිගන්නවා නීත්‍යනුකූල අයිතියක් ඉන්දියානු සමාගමට තිබෙනවා කියලා. නමුත් එහෙම නීත්‍යනුකූල අයිතියක් ඉන්දියානු සමාගමට නැහැ

දැන් ඇමැතිවරයා අලුත් සමාගමක් හදන්න උත්සහ කරනවා. එම සමාගමේ කොටස්වලින් 49%ක් ඉන්දියානු ඔයිල් සමාගමට ලබාදීමට සැලසුමක් තිබෙනවා. එම සමාගමට තෙල් ටැංකි 99 පවරා ගන්නවා. එයින් සිදු වෙන්නේ තෙල් ටැංකි භාවිත කරන්න ඉන්දියානු සමාගමට අයිතියක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අනීතික තත්ත්වයට නීත්‍යනුකූලභාවයක් ලබාදීමයි. ඒ වගේම අද ප්‍රවෘත්ති වර්තා කරලා තිබුණා උදය ගම්මන්පිල කියනවා කියලා තෙල් ටැංකි තවත් වසර 50කට ඉන්දියානු ඔයිල් සමාගමට ලබාදෙනවා කියලා. ආණ්ඩුව මේ රට පත්කරමින් තිබෙන්නේ මේ වගේ තැනකට. විකුණන්නේ නැහැ කිව්වට රට සංවර්ධනයට යොදා ගත හැකි සම්පත් සියල්ල ආණ්ඩුව පිටරට සමාගම්වලට විකුණමින් ඉන්නවා.

කොළඹ වරාය කියන්නේ ඩොලර් උල්පතක්. එහෙම තියෙද්දී කොළඹ වරායේ ජැටි මඟින් ආදායම් ලබාගත හැකිව තිබෙන මෙහෙයුම් කටයුතු පිටරට සමාගම්වලට ලබාදීලා ඩොලර් අහිමි කර ගන්නවා. තෙල් ටැංකි සංකීර්ණයට කරන්න යන්නෙත් ඒ දේමයි. තෙල් ටැංකි සංවර්ධනය කරලා අපේ රටට ඩොලර් උපයගන්න පුළුවන්. ඛනිජ තෙල් සංස්ථා සේවකයන් වෘත්තීය සමිති පෙන්වා දෙනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි භාවිත කරලා ඒ අවට පළාත්වලට ඉන්ධන ලබාදීමෙන් තෙල් සංස්ථාවට වසරකට රු. මිලියන 900ත් 1,000ත් අතර ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි කියලා. එයින් තෙල් සංස්ථාවේ පාඩුව අවම කර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්.

මේ වෙනකොට රටේ ගබඩා පහසුකම් නොමැති නිසා ඩීසල් ගබඩා කර ගත හැක්කේ දින 19කට පමණයි. පෙට්රල් ගබඩා කරගත හැක්කේ සති දෙකකට පමණයි. භූමිතෙල් ගබඩා කරගත හැකි වන්නේ දින 10කට පමණයි. සුපර් ඩීසල් ගබඩා කරගත හැකි වන්නේ දින 18කට පමණයි. ඒ නිසා අපිට විධිමත් ගබඩා පහසුකමක් අවශ්‍යයි. ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පෙන්වා දෙන්නේ මාසයක තෙල් ගබඩා කර ගන්න තෙල් ටැංකි 20ක් අවශ්‍යයි කියලා. මාස 02ක් සඳහා ගබඩා කර ගැනීමට තෙල් ටැංකි 53ක් අවශ්‍යයි. තෙල් ටැංකි 86ක් මඟින් මාස 03කට අවශ්‍ය තෙල් ගබඩා කර ගත හැකියි. එවිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත යනකොට ගබඩා කර ගන්න පුළුවන්. ඒ වෙනුවට දැන් තෙල් ටැංකි සංකීර්ණයම විකුණන තැනට ඇවිත් තිබෙනවා. එදා මිලින්ද මොරගොඩ වෙනුවට අද යොදා ගෙන තිබෙන්නේ උදය ගම්මන්පිලයි. රනිල් වික්‍රමසිංහ වෙනුවට ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යොදා ගෙන තිබෙනවා. රනිල්ට හරියට කරගන්න බැරි වුණදේ රාජපක්ෂවරු මඟිින් කර ගන්න යනවා.

අපි මේ රටේ ජනතාවට කියනවා මේ දෙගොල්ලම කරන්නේ රටේ ජාතික සම්පත් විකුණලා ලැබෙන කොමිස් මුදල්වලින් තමන්ගේ සාක්කු පුරව ගන්න එක බව. මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. ආණ්ඩුවට ජනතා අප්‍රසාදයට පත්වෙලා ජනතාවගෙන් අෑත්වෙමින් තිබෙන වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3ත් කැබිනට් මණ්ඩලයේ බලයත් පාවිච්චි කරලා ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට වේගයෙන් අවතීර්ණ වෙලා තිබෙනවා. සමහර දේවල් ඇමැතිවරු දන්නෙත් නැහැ. අනාගතයේ ගොඩනඟන ආණ්ඩුවකට රට සංවර්ධනය කරන්න මේ තෙල් ටැංකි, වරාය ජැටි, ඉඩම් ඇතුළු සම්පත් අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ තෙල් ටැංකි විකිණීමට එරෙහිව වෘත්තීය සමිති කරන සටනට මවුබිමට ආදරය කරන සියලු ජනතාව එකාවන්ව එකතු වෙන්න අවශ්‍යයි. අනාගතය වෙනුවෙන් රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට කරන සටන වෙනුවෙන් අපි පක්ෂයක් ලෙස සම්පූර්ණ සහය ලබාදෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *