ඇමැතිවරුන් 17ට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට සිහිකැඳවීමක්

මාදිවෙල මන්ත්‍රී නිවාසයක මාසික කුලිය රු. 1,000යි; නිල නිවාස ලබා ගැනීමට නොහැකි වූ මන්ත්‍රීවරුන් සඳහා මාසිකව රු.75,000ක්
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් සිහිකැඳවීමක් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාසවල කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනකු පදිංචිව සිටින බවට මෑතකදී කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවූ බවයි. මින් බොහෝදෙනකු මන්ත්‍රී නිල නිවාසවල පදිංචිව සිටින්නේ ඇමැති නිල නිවාසද ලබා ගෙන සිටියදී බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ඇමැතිවරුන් මෙලෙස පදිංචිව සිටීම නිසා මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමේදී බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් එවන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් කාලයක් තිස්සේ එය ලබාදීම අතපසු කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.