ගෝල්ෆ් ක්‍රීඩා පිටි සදහා අයෝජකයින්ට අවස්ථාව සලසන මුතුරාජවෙල ගැසට් බල රහිත කරන්නැයි පෙත්සමක්

මුතුරාජවෙල ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම අප්‍රේල් දක්වා කල් දමයි

මුතුරාජවෙල ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම අප්‍රේල් දක්වා කල් දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුතුරාජවෙල ⁣තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ එම තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝටල්, ගෝල්ෆ් ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීම සදහා අයෝජකයින්ට අවස්ථාව සලසා දීමක් වන බැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරය සුරැකීමේ සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ලක්පුර ජයමහ සහ එහි ලේකම් දොන් සේනාරත්න වනසිංහ යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ නිලංග පෙරේරා මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කාර සංවිධානය 2017 වසරේදී මුතුරාජවෙල තෙත්බිමෙහි නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. මෙම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල තෙත්බිමේ මායිම් නිවැරැදි ලකුණු කරන ලෙස වන සංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කළේය. මෙම නඩුව විභාගය වන අතරතුර නීතිපතිවරයා විසින් තෙත්බිම තුළ වැලි ගොඩ දැමීම සිදු නොවන බව සදහන් කරමින් නඩුව අවසන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීය. ඊට විරෝධය පළ කළ පෙත්සම්කාර සංවිධානය තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය අවසන් වී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය. ඉන්පසු නීතිපතිවරයා මුතුරාජවෙල තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කරන බව දැනුම් දුන්නේය.

කෙසේ නමුත් මේවනතුරුත් මෙම ක්‍රියාවලිය අවසන් වී නොමැති.

මුතුරාජවෙල තෙත්බිමේ තවදුරටත් නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම සිදු වේ. මේ ගැන විෂය බාර ඇමැතිවරයාට සහ පොලීසියට පැමිණිලි කර ඇත.

මේ අතර මුතුරාජවෙල තෙත්බිමේ තුඩුව ප්‍රදේශයේ හෙලිකොප්ටර් අංගනයක්, සුඛෝපභෝගී හෝටලයක් සහ ගෝල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පෙත්සම්කාර සංවිධානය⁣ට දැන ගන්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අදාළ ලිපිද හුවමාරු වී ඇතැම් ව්‍යාපෘතීන් සදහා පාරිසරික වාර්තා සදහාද අනුමැතිය ලැබී ඇත. මේ තත්ත්වය තුළ 2248/44 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදි කලාපයක් බවට ප්‍රකාශයට පත් කළේය.

කෙසේ නමුත් මෙම ⁣ව්‍යාපෘතියට මිනුම් සැලසුම්ක්ද නොමැත. මෙම ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ හිතවත් දෙස් විදෙස් ආයෝජකයින්ට මුතුරාජවෙල ⁣තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝ⁣ටල්, ගෝල්ෆ් ක්‍රීඩා පිටි, හෙලිකොප්ටර් අංගන සහ රාත්‍රී සමාජශාලා ඉදිකිරීමට අවස්ථාව සලසා දීමයි. දැනටමත් මේවාට අදාළ බලධාරීන්ගේ අනුමැති ලැබී ඇති බව දැන ගන්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර සංවිධානය මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් සිදු කර ඇත.

එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද, අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් ද, එය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමින් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *