සිත්තැවුලෙන් රට හැර ගිය ආචාර්ය උදය ඉන්ද්‍රරත්න හට අන්තර්ජාතික මානව සම්පත් කළමනාකරණ ආයතනයේ ඉහළම තනතුරකට

ලොවක් දන්නා ආචාර්ය උදය ඉන්ද්‍රරත්න, සිය කුසලතාවයන්ගෙන් මේ රට වැඩක් නොගන්නා බව දැක සිත්තැවුලෙන් යුතුව රට හැර ගියේ 2020 දෙසැම්බර් මුල සතියේය.

මේ වන විට අපට වාර්තා වන්නේ ඇමරිකාවේ International Public Management Association for Human Resources හෙවත් ලෝ ප්‍රකට IPMA-HR හි ජ්‍යේෂ්ඨ උපදේශන සභා සාමාජිකයෙකු ලෙස පත් කර ගෙන ඇති බවයි. මෙම පත්වීම ඔහුට ලබා දී ඇත්තේ ගතවූ දශක කිහිපය තුළ ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ සහ මහත් ගෞරවයට පාත්‍ර වූ උපදේශක භූමිකාවන් සලකා බලා ය.

මෙම ආයතනයේ විශේෂත්වය වන්නේ ‘රාජ්‍ය අංශයේ‘ (public sector) මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ලෝකයේ කීර්තිමත්ම ආයතනය ලෙස මෙය කටයුතු කිරීමයි. ආචාර්ය උදය ඉන්ද්‍රරත්නයන් ට අවශ්‍ය වූයේ ද ලංකාවේ මානව සම්පත, රාජ්‍ය අංශය තුළ ඉහළ මට්ටමකින් කළමනාකරණය කරන්නට ය. ඒ වෙනුවෙන් ඔහු රාජ්‍ය අංශය සමග හැකි සෑම මැදිහත්වීමක්ම කරන්නට වග බලා ගත්තේය. ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ පසුව ඔහු රට හැර යන්නේ, කළමනාකරණය කිරීමට තරම්වත් සුදුසු මානව සම්පතක් මේ රට තුළ නැති බව අත්දැකීමෙන් පසුව විය යුතුය.

පුරා වසර 2 ක් ලංකාවේ රැඳී සිටිමින් ලංකාවේ 2020-2025 පස් අවුරුදු ආරක්ෂණ උපාය මාර්ග සැලැස්ම නිර්මාණය කළ ආචාර්ය උදය ඉන්ද්‍රරත්න, ඩුබායි රාජ්‍යයේ කළ විප්ලවය සියල්ලෝ දනිති. ඩුබායි රාජ්‍යය ඔහුව හඳුන්වන්නේ ඒ රට හැදූ මිනිසෙකු ලෙස ය. නමුත් මේ රට හදන්නට ඔහුට ඉඩ දෙන්නට ලංකාවට පින් මද විය.

‘අර බිත්තිවල චිත්‍ර ඇන්ද තරුණයො පාස්පෝට් පෝලිමේ නම් ඉන්නෙ, එ් අයව නැවත ගෙන්වගන්න වැඩ පිළිවෙළක් හදන්න ඕනෙ..‘‘ මෙයට සති කිහිපයකට පෙර මේ වදන් පැවසුවේ ලංකාව සුරපුරයක් කරන බවට පවසමින් බලයට ආ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකි. උගතුන් සහ තරුණ පරපුර රට හැර යාමේ හුරු පුරුදු අඳෝනාව නතර කර ගන්නට නම් කළ යුතුව තිබූ ප්‍රමුඛතම කාර්යයක් වූයේ ආචාර්ය උදය ඉන්ද්‍රරත්න වැනි මිනිසුන්ට ලංකාව ‘ඉන්න හිතෙන රටක්‘ බවට පත් කිරීමයි!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *