අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල්කරණයට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාව දූෂිත බවට චෝදනා

නීතිය ක්‍රියාත්මක කිරීම වේගත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සැලසුම ඇතිව ලංකාවේ තොරතුරු තාක්ෂණ ආයතනවලින් සිදු කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලිය දූෂිත වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම තෝරා ගැනීමේ ක්‍රියාවලියට අදාළව පසුගිය අප්‍රේල් මාසයේදී අධිකරණ අමාත්‍යාජශය මගින් ටෙන්ඩර් කැඳවා ඇති අතර ජනාධිපතිවරයා යටතේ ඇති තාක්ෂණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද තාක්ෂණ කමිටුවක් මගින් තෝරා ගැනීම් සිදු කරනු ලැබ ඇත. මෙම මුළු ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 20ක් බවට ඇස්තමේන්තු කර ඇත.

අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන අන්දමට ජුනි 03 වැනි දින ප.ව. 3.00ට අයදුම්පත් භාර ගැනීම අවසන් වී ඇති අතර ඉන්පසු භාර දෙනු ලබන අයදුම්පත් භාර නොගන්නා බවට ප්‍රකාශ කරනු ලැබ තිබිණි. ඒ අනුව Sierra Construction (Pvt) Limited, ITX 360, KPMG, Millennium IT, Sri Lanka Telecom PLC, Softlogic Information Technologies Pvt Ltd., Abans PLC, Metropolitan Advanced Technologies Pvt. Ltd., Swedish Trading AV, DMS Software Technologies, VS Information Systems, Just In Time Group සහ Hayleys Fentons යන සමාගම් විසින් තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

කෙසේ වුවද දැනගන්නට ලැබී ඇති අන්දමට ඩයලෝග් සමාගම විසින් තමන්ගේ ටෙන්ඩර් අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ ජුනි 03 දින ප.ව. 3.05ටය. එබැවින් ඔවුන් ටෙන්ඩරයේ සුදුසුකම් සම්පූර්ණ කරලීමට අපොහොසත් වී ඇත.

කෙසේ වුවද අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ‘ප්‍රමාද වූ අයදුම්කරුගේ සන්නිවේදන ජාලයේ මන්දගාමී වීමක්’ ඇති බවට ප.ව. 2.56ට දැනුම්දී තිබූ බවත් ඒ අනුව එම ආයතනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බවය.

මෙම ටෙන්ඩරයට ඉදිරිපත් වූ අනෙකුත් සමාගම් පෙන්වා දී ඇත්තේ තමන් ටෙන්ඩර් පරිපාටියට අනුකූළව අයදුම්පත් ඉදිරිපත් කර තිබියදී ප්‍රමාද වී ඉදිරිපත් කළ අයදුම්පතක් භාර ගැනීම පිළිගත නොහැකි බවය. මේ පිළිබඳව කරන ලද විමසීමකදී තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ හොඳ මිලක් ලබා ගැනීමට සහ වැඩි තරගකාරිත්වයකට ඉඩ සැලසීමට තමන්ට අවශ්‍ය වූ බවය.

මේ අතර ටෙන්ඩරයට ඉදිරිපත් වූ අනෙකුත් සමාගම් පවසන්නේ ඩයලෝග් සමාගම ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයද නිසි වේලාවට භාරදීමට අසමත්ව තිබියදී ටෙන්ඩර් අයදුම් පත්‍රය භාර ගැනීම ගැටලු සහගත බවයි.

මේ අතර සති කිහිපයක් තුළ තාක්ෂණ කමිටුව විසින් සමාගම් සමාගම් 07ක් අවසාන වටයට තෝරා ගෙන ඇති අතර පසුගිය සිකුරාදා ඒවායින් සමාගම් 05කට ඔවුන්ගේ නොසුදුසුවීමට හේතු ඊමේල් මගින් දන්වා තිබේ. මේ අනුව දැන් අවසාන වටයට තේරී ඇත්තේ ඩයලෝග් සමාගම සහ ජස්ට් ඉන් ටයිම් යන සමාගම් දෙකය.

ඩයලෝග් සමාගම අවසාන දෙදෙනා අතර ඒම පිළිගත නොහැකි කරුණක් බව පෙන්වා දෙන සෙසු සමාගම්, ඩයලෝග් සමාගම ටෙන්ඩර් ප්‍රමාද වී භාර දීමේ කරුණ සම්බන්ධව බලධාරීන් කිසිවෙකු පිළිතුරු ලබා නොදෙන බවද මෙම තත්වය නිසි වේලාවට අයදුම්පත් ලබා දුන් සමාගම්වල අසාධාරණයක් බවද ප්‍රකාශ කරයි. මෙය පූර්වයෙන් අදාළ සමාගම තෝරා ගෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ බව පෙන්වීම සඳහා සමාගම්වලින් අයදුම්පත් කැඳවූ ආකාරයක් පෙනේ යැයි ඔවුහු පවසති. ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණ අපේක්ෂාව විනිවිද පෙනෙනසුළු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් ඉදිරියට යනු ඇතැයි තමන් සිතූ බවද එය ප්‍රශ්න ගත හා දූෂිත ස්වරූපයෙන් ඉදිරියට නොයා යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *