හොරකම නවත්තන්න නම් මෙන්න මිනිහා – ඉම්රාන් ඛාන්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්

පාකිස්තානයේ මුදල් ඇමැති ශෞකාත් තරින් සහ ජලසම්පාදන ඇමැති මුනිස් එලාහිද ඇතුළුව මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ හත්සියයකට අධික පිරිකගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වේ. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව International Consortium of Investigative Journalists – ICIJ සිය පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් කර ඇති අන්දමට මේ පිරිස අගමැති ඉම්රාන්ඛාන්ගේ අන්තේවාසික හිතෛෂියෝය. ඇමතිවරුන්, හමුදා ප්‍රධානීන් පවුලේ ඥාතීන්, ව්‍යාපාරිකයන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් සේම මාධ්‍ය ආයතන ප්‍රධානීහුද ඒ අතර සිටිත් යැයි කියත්. මුදල් ඇමැති ශෞකාත් තරින් සහ ජලසම්පාදන ඇමැති මුනිස් එලාහි ඇමැතිවරුන් දෙදෙනාට අමතරව තවත් කිපදෙනෙක්ද සිටිති. හිටපු මුදල් ඇමැති ෂවුකත් ටාරින්, ඔහුගේ පුත්‍ර අල්දාර් සහ ෂවුකත් ටාරින්ගේ පවුලේ ඥාතීන්, හිටපු මුදල් සහ ආදායම් රාජ්‍ය ඇමැති වකාර් මසූද් ඛාන්, සෙනෙට් සභික ෆයිසාල් වසූඩ්, හිටපු හමුදා ප්‍රධානි මේජර් ජනරාල් නස්රත් නයීම්, හිටපු ගුවන් හමුදා ප්‍රධානි අබ්බාස් කතාක්, හිටපු හමුදා ප්‍රධානියකු සහ වර්තමානයේ දේශපාලන ක්‍රියාකාරික රාජා නදීර් පර්වේස්, ව්‍යාපාරිකයන් වන ආරිෆ් නාක්වි, ටාරික් ෂානි, හිටපු හමුදා ප්‍රධනියකු වූ ලුතිනන් ජෙනරාල් ෂාහත් ෂ්‍යාම්ගේ බිරිය මේ අන්දමින් ලැයිස්තුගතව ඇත්තාහ.

මේ පිරිස් විසින් වංචනිකව උපයාගනු ලැබූ ඩොලර් මිලියන ගණන් විදේශීය මූල්‍ය ආයතනවල රහසිගතව තැන්පත් කර ඇති බවද පැන්ඩෝරා පත්‍රිකාවෙන් පෙන්වාදී තිබේ.
පැන්ඩෝරා පත්‍රිකාවල විස්තර දැනගත් වහාම අගමැති ඉම්රාන් ඛාන් මේ සම්බන්ධව නම්කෙරී ඇති සියලු දෙනාගේ කටයුතු පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන බව මාධ්‍යයට කීවේය. තම රටේ වෙසෙමින් කොල්ල කෑ මහජන මුදල් රහසිගතව පිටමං කර විදේශ මූල්‍ය ආයතනවල සැඟවූ දූෂිතයනට එරෙහිව විමර්ශනයක් කර දඬුවම් දෙන බව පාකිස්තාන් අගමැතිවරයා සේම මැක්සිකානු ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදෝර්ද මහජනයාට පොරොන්දු වූවේය. මැක්සිකානුවන් තුන් දහසක් දෙනා එසේ රහස්‍ය අන්දමින් ධනය සඟවා ඇති බව පත්‍රිකාවලින් අනාවරණ කෙරිණි.

රට රටවල බලවතුන් විශාල සංඛ්‍යාවක් දූෂණ වංචා කළ බවට චෝදනා නැගීි තිබුණද ඒ පිළිබඳ පරීක්‍ෂණයක් හෝ පවත්වන බවට හඬගා ප්‍රකාශ කළෝ මැක්සිකානු ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදෝර් සහ පාකාස්තාන් අගමැති ඉම්රාන්ඛාන් පමණි.

මහජන දේපොළ කොල්ල කෑමේ අකටයුතුකම්වලට සම්බන්ධ බව කියැවෙන තුන්සියයක් ඉක්මවා ඇති චූදිත සංඛ්‍යාවෙන් අංක එකට ගැනෙන්නේ ජෝර්දානයේ “දෙවැනි අබ්දුල්ලා” රජුයි.

මහා බි්‍රතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය “ටෝනි බ්ලෙයාර්” සහ ඔහුගේ බිරිය “චෙරී” දෙදෙනා පවුම් මිලියන 6.45ක් වටිනා දේපොළ මිලට ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් ගෙවිය යුතු වූ පවුම් තුන්ලක්‍ෂ දොළොස් දහසක් නොගෙවා වංචා කිරීමේ චෝදනාවට ලක්ව ඇත්තාහ.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ සහ ඔහු ඉතා ළඟින් ඇසුරු කරන කාන්තාවකටද මොනෝකෝ රාජ්‍යයේ විශාල දේපොළක් ඇති බව ගවේෂණ මාධ්‍යවේදීන්ගේ සන්ධානයෙන් අනාවරණ කර ඇත.

අසර්බයිජාන ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු පවුලේ ඥාතීන් වංචා කර ඇතැයි පෙන්වන ධනස්කන්ධය ඩොලර් මිලියන හාරසියයකට හෙවත් කෝටි හතළිහකට අධිකය. ජනාධිපතිතම පුතාටද එංගලන්තයේ මැඳුරක් ඩොලර් කෝටි තුනකට අත්පත් කරදී ඇත.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාද නජීබ් මිකාති, හසින් ඩියාබ්, රියාද් ෂලාමේන් යන ලෙබනන් අගමැතිවරුද මහජන මුදල් කොල්ල කෑමේ චූදිතයෝය.
මේ සියලු දෙනාට චෝදනා එල්ලවූ වහාම “උණු අළු වැටුණු කඩින්” මෙන් දඟලමින් තම නිර්දෝෂීභාවය ගැන චරිත සහතික නිකුත් කරන්නට හෝ නිකුත් කරවන්නට හෝ ක්‍රියාකළා පමණි.

මේ දුර්දාන්ත තත්ත්වයෙන් මහජනයා මුදා සෙතක් සැලසෙන අන්දමේ කටයුත්තක් කෙරෙන බවට අවම වශයෙන් කටක් සෙලෙව්වේ හෝ මැක්සිකානු ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදෝර් සහ පාකාස්තාන් අගමැති ඉම්රාන්ඛාන් පමණි.

අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව මාධ්‍යවලින් දැවැන්ත දූෂණ චෝදනා එල්ල කෙරී නොතිබුණාද නොවේ.

(කොවිඩ් ආධාර වශයෙන් පාකිස්තානයට ලැබුණු අධාර මුදල්වලින් රුපියල් බිලියන එක්දහස් දෙසීයක මුදලක්ද, වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු මුදලින් රුපියල් බිලියන පන්සියයක්ද සොරාගත් බවට එරට මුස්ලිම් ලීගයේ මාධ්‍ය ප්‍රකාශිනී මාරියම් ඔරෙන්ජ්ෂිබ් ඩේලි ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කළා පමණක් නොව එරට විගණකාධිපතිවරයාද වාර්තා කර ඇති බව සමාජගත කෙරී තිබිණි.

එහෙත් පැන්ඩෝරා එළිදරව්වේ අගමැතිවරයාගේ නම සඳහන්ව තිබුණේ නැත.

එතකුදු වුව පරීක්‍ෂණවලින් වරදකරුවන් බව අනාවරණ වෙන සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා පමණක් නොව පත්ව ඇති ව්‍යාධියෙන් ලෝකය මුදාගැනීමට කටයුතු නොකරන්නන්ට චෝදනා කරමින් මින් මතුවට මෙවැනි දේ නොවීමට වගබලා ගැනීම උදෙසා මැදිහත් වන ලෙසට ජාත්‍යන්තරයද ඇමතුවේය.

බොහෝ රටවල දරිද්‍රතාවට ප්‍රධාන හේතුව දූෂණය සහ වංචාව බව කී ඉම්රාන් ඛාන් අගමැතිවරයා එවන් වංචා වැළැක්වීමට සහ එසේ කොල්ලකෑ මහජන මුදල් (දේපොළ) ආපසු ලබාගෙන මහජනයාටම දීමට ජාත්‍යන්තරය ක්‍රියා නොකිරීම කණගාටුදායක කරුණක් බවද කීවේය.

තත්ත්වය මෙසේ වෙද්දී අගමැතිවරයාගේ මේ හැසිරීම් රටාව වෙස්මුහුණු බැඳීමක් බවටද විරුද්ධ පාක්‍ෂිකයෝ හුවා දක්වති. ඔවුන් පවසන්නේ නම්කෙරී ඇති දේශපාලනඥයන් සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවය.

විපක්‍ෂ මන්ත්‍රී මාරි පැවැසුවේ දූෂිතයන් අත්අඩංගුවට ගැනීමේ පොරොන්දුව මත බලයටපත් ඉම්රාන් ඛාන්ට ඒ පොරොන්දු දැන් අමතකව ගොස් ඇති බවයි.

ජාත්‍යන්තරය ගිනිතැබූ පැන්ඩෝරාවේ ගිනි පුපුරු ශ්‍රී ලංකාව දෙසටද විසිවුණේ අපේ රටේ බලවත් අඹුසැමි යුවළකගේ නම් දෙකද ඒ හාම ඈඳී තිබූ හෙයිනි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්‍ෂගේ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් යන දෙදෙනාගේ නම් එසේ ගොනුගත කෙරී තිබිණි. ඒ යුවතිපති දෙදෙනා නවසීලන්තයේ, ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ, වර්ජිනියා දූපත්වල සහ සැමෝවාවේ, ආයතන අටක් ස්ථාපනය කර ඇති බවද ඒ අන්දමේ අවනීතියෙන් උපයාගෙන ඇති ධනය කෝටි තුන්දහස් පන්සියයක් පමණ බවද පැවසේ.

මේ දෙදෙනාගේ නම් සහ ඒවාට ඈඳුණු විස්තර දැනගත් වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කළ බවත් ඒ වාර්තාව තමාට මාසයක් ඇතුළත ලබාදිය යුතු බව එම නියෝගයෙන් අවධාරණය කර තිබූ බවත් පසුගිය හයවැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කෙළේය.

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම පත්‍රිකාවල අන්තර්ගත කරුණු පිළිබඳ විශේෂ විමර්ශන කණ්ඩායමක් විශේෂ පරීක්‍ෂණයක් පවත්වනු ලබන බැව් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.

තමාගේ සහ තම බිරියගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන්ව තිබීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසට තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ඒ අන්දමින් දෙදෙනාගේම නම් සඳහන් වීමෙන් වැඩිදෙනකුට ගම්‍ය වන්නේ තමන් වැරදිකරුවන් බවට හැඟීමක් බවත් එතකුදු වුවත් තමාත් තම බිරියත් නිර්දෝෂී වුවත් දැඩි මානසික වේදනාවකට පත්ව සිටින බවත් එම ලිපියේ වැඩි දුරටද සඳහන් කර ඇත.

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් පාර්ශ්වයන් පිළිබඳ මෙරට (ශ්‍රී ලංකාවේ) නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ එකී තැනැත්තන් එකී උපයා ගැනීම් නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගත් බැව් තහවුරුකර ගතහොත් පමණක් බැව් අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

යම්කිසිවකුගේ අයථා ඉපැයීම් පිළිබඳ විර්ශනය කිරීමේ නෛතික බලය ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටයි.

කිසියම් ලාංකික පුරවැසියකු තමන් සන්තකයේ පවත්නා මුදල් සම්භාරය උපයාගත් ආකාරය නීත්‍යානුකූලව සනාථ කිරීමට අපොහාසක් වූ විට ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේ හැකියාව යථෝක්ත කොමිසමට තිබේ.

චූදිත පාර්ශ්වය ගිවිසුම්ගතව නීත්‍යානුකූව කොමිස් මුදල් ලබාගත් බව තහවුරු කළහොත් චූදිතයනට ගැටලුවක් නොවේ යැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පූර්වෝක්ත කරුණ සම්බන්ධයෙන් පවත්වන බව කියන ස්වාධීන පරීක්‍ෂණය පිළිබඳවද සමාජගතව ඇත්තේ යහසාධනීය ප්‍රතිචාරයක් නොව විවාදාත්මක එකකි. මන්ද පසුගිය වකවානුවලදී කොමිෂන් සභාවෙන් ගැනුණු ක්‍රියාමාර්ග මධ්‍යස්ථ මතධාරීන්ගේ කුකුසටම හේතුකාරකවී ඇති හෙයිනි.

පසුගිය සමයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පරීක්‍ෂණ පවත්වා පැවරුණු නඩු බොහාමයක් ඉදිරියට ගියේ නැත. ඒවා පැවරීමේදී උද්ගත වූ තාක්‍ෂණික හේතූන් නිසා එකී නඩු අතරමගදී හැලෙන්නට වූයේය. කිසියම් පිල්වලට අයත් දේශපාලනඥයන්ට සම්බන්ධ වූ නඩු එසේ හැලී ගිය එවා වීමද විශේෂය.

ඒ සංඛ්‍යාව පහළොවක් තරම් යැයි දැනගන්නට ලැබේ. ඒ අනුව පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ශ්‍රී ලාංකිකයන් දෙපළ සහ ඒ දෙදෙනාගේ ක්‍රියාකාරකම් අරබයා යථෝක්ත කොමිසමේ කටයුතු පාර්ශ්වීය වශයෙන් නම්‍යතාවකට පත්වේ දැයි යන්න ගැන බොහෝ දෙනා දෙගිඩියාවෙන් සිටින්නෝ පූර්වාදර්ශ සිහිපත් කරමිනි. ඊට පාදක වන සාධකද බොහෝය.

කළු සල්ලි සුදුකිරීමේ ක්‍රමෝපාය යනු හොරාට පෙරාතුව කෙසෙල් කැන වැටපැන්නා නොව, “වැස්ස වසින්නට ඉස්සර අහසේ වලාකුළේ විදුලිය කෙටුවා” වැන්න.
මේ සම්බන්ධව එක් දේශපාලන ප්‍රාණියකු පැවසුවේ මේ කටයුතු සිදුව ඇත්තේ 2000 වර්ෂයට පෙර බැවින් අදාළ නොවන්නක් බවය.
තවත් කෙනකු පැවසුවේ ඒ සියල්ල ඒ දෙපොළගේ පෞද්ගලික ධනය බවය.

“හානා හීය පානා අඬහැරෙන් දැනේ”

නිරූපමා රාජපක්‍ෂ යනු මේ රටේ අගමැති ජනාධිපති සහ මුදල් ඇමැති යන තිදෙනා ප්‍රමුඛ කොටගත් රාජපක්‍ෂ පවුලේම සාමාජිකාවකි.

Blood is thicker than water යන ආප්තෝපදේශයක්ද තිබේ.

“පැන්ඩෝරාව” අන්තිමේදී “පානදුරාවෙන්” නැවතුණද පුදුමයක් නොවේ.

– mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *