තිරු නඩේසන් විතරක් විමර්ශන කරන්නේ ඇයි? දෙමළ නිසාද? අනෙක් 65 දෙනාට විමර්ශනයක් නැත්තේ ඇයි?

පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ ස්වාමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා පිළිබඳව අල්ලස් කොමිසම මගින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එකී විමර්ශනවලට අදාලව තිරු නඩේසන් මහතාට හෙට දිනයේදී කොමිසම වෙත කැඳවා තිබේ.

මෙම විමර්ශන ආරම්භ කෙරුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ගේ විශේෂ නියෝගයක් මතයි. ජනාධිපතිවරයා නියෝග කළේ විමර්ශන පවත්වා මාසයක් ඇතුළත තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

පැන්ඩෝරා පේප්ර්ස්වල තවත් ශ්‍රී ලාංකිකයන් රැසකගේ නම් සඳහන්ව ඇති නමුත් කතාබහට ලක්වූයේ තිරු නඩේසන් – නිරූපමා යුවළ සම්බන්ධයෙන් පමණි.

පැන්ඩෝරා දෙමළ – පැනමා සිංහල – ඒකයි වෙනස

මීට පෙර මෙවැනිම ආකාරයෙන් ජාත්‍යන්තර හෙලිදරව්වක් සිදු වූ අතර එය හැඳින්වූයේ පැනමා පේපර්ස් ලෙසයි. එම පත්‍රිකාවලින් ශ්‍රී ලාංකිකයන්‍ 65 දෙනෙකු සම්බන්ධ දූෂිත ගනුදෙනු තිබෙන බවට හෙලිදරව් විය. කෙසේ නමුත් එම 65 දෙනාගෙන් කිසිවෙකු පිළිබඳව හෝ විමර්ශන සිදු නොවීය.

පාලකයන් එම 65 දෙනා පිළිබඳව විමර්ශන කරන්නැයි විමර්ශන අංශ වෙත උපදෙස් ලබා දුන්නේද නැත. ඔවුන් පිළිබඳව විමර්ශන පවත්වන්නැයි විපක්ෂයේ කණ්ඩායම් පාලකයන්ට බලපෑම් කළේද නැත.

එහෙත් පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් සියලු දෙනාම කලබලයට පත්ව සිටිති. ඊට බලපාන්නට ඇත්‍තේ එකම හේතුවකි. එනම් තිරු නඩේසන් මහතා දෙමළ ජාතිකයෙකු වීමයි. ඒ අනුව පැනමා පේපර්ස් පිරිසිදු සිංහල වෙද්දී, දේශීය වෙද්දී, පැන්ඩෝරා පේපර්ස් දෙමළ වී තිබේ, දේශද්‍රෝහී වී තිබේ. ඊට වඩා නම් හේතුවක් පෙනෙන්නට නැත.

තිරු නඩේසන් මහතාද පැන්ඩෝරා පේප්ර්ස් හරහා එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබේ.

ඒ අනුව පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව කඩිනම් පරීක්ෂණ පැවැත්වීම ඉතා හොඳය. ඒ ආකාරයෙන්ම පැනමා පත්‍රිකා පිළිබඳවත් පරීක්ෂණ සිදු වූයේ නම් ඉතාමත් හොඳය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *