නොවැ. 6ට පෙර විදේශිකයන්ගේ වීසා දීර්ඝ කරගන්නැයි නිවේදනයක්

ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන් වීසා කාලය අවසන් වී ඇත්නම් ලබන නොවැම්බර් මස 6 වැනිදාට පෙර වීසා දීර්ඝ කරගත යුතු බවත් එදිනට පසුව වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදීසිටියහොත් ආමරිකානු ඩොලර් 500 ක දඩ මුදලට යටත් කරන බවත් ආගමන හා විගමන පාලකවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මේ මස 7 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා තවත් දින 30 කින් දීර්ඝ කළ බවත් පළාත් අතර සංචරණ සීමා මේ දක්වා පැවතීම හේතුවෙන් සියලුම වීසා දීර්ඝ කරන බවත්, නැවතත් පොදුවේ වීසා දීර්ඝ කිරීමට අදහස් නොකරන බවත් ආගමන හා විගමන පාලකවරයා සඳහන් කරයි.

මැයි මස 11 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන වීසා සඳහා ගාස්තුව පමණක් අය කරන බවත් දඩ මුදල් අය නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

නේවාසික වීසා හිමිකරුවන්ට වීසා දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 0707101050 දුරකථනයට අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු බව ආගමන හා විගමන පාලකවරයා කියයි.

සංචාරක වීසා මත මෙරට රැදී සිටින විදේශිකයන්ට (ශ්‍රී ලංකාවට පැමිණි දින සිට උපරිම මාස 9 ක් දක්වා) https://eservices.immigration.gov.lk/vs යන වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය ඔස්සේ වීසා අලුත් කර ගත හැකි බවත් නොවැම්බර් මස 6 වැනිදාට පෙර රටින් පිට වන්නේ නම් වීසා ගාස්තු ගුවන්තුටුපළට ද එසේ නැත්තනම් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාල ගාස්තු ගෙවා වීසා පිටසන් කරගත හැකි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *