අමාත්‍ය උදය ගම්මන්පිලගේ බිරිඳ ඉරානයට ගියාද?

රටේ වර්තමානයේ පැන නැගී ඇති ඉන්ධන හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, මැද පෙරදිග රටවල්වල නිළ සංචාරයක නිරත වෙමින් සිටී.

මේ අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය සහ අසර්බයිජාන් යන රටවලට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සංචාරය කර එම රටවල්වල ඛනිජ සම්පත් ආශ්‍රිත පාර්ශවයන් හමු වී සාකච්ඡා කරමින් සිටී.

මෙම සියලු හමුවීම්වලට බලශක්ති අමාත්‍ය ලේකම් කේ.ටී.ආර්.ඔල්ගා මහත්මිය ද සහභාගී විය. මෙම සංචාරය සම්බන්ධ තොරතුරු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තම නිළ ෆේස්බුක් සහ ට්විටර් ගිණුමේ නිරන්තරයෙන් ම පළ කරමින් සිටී.

පසුගිය සැප්තැම්බර් 20 වන දින පළ වූ මව්බිම පුවත් පතේ මෙම සංචාරය සම්බන්ධ පුවත් පළ කර ඇත. “මැද පෙරදිග රටවල් සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල සංචාරයේ අමාත්‍ය ලේකම් කේ.ටී.ආර්.ඔල්ගා මහත්මිය ද සහභාගී වෙන” බව ද අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වේ.

මෙවැනි පසුබිමක් මත, අදාළ සංචාරය සම්බන්ධයෙන් වැරදි පුවතක් 27වන දින සඳුදා දින සිට Facebook සහ Whatsapp යන සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

එනම් – “අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය බිරිඳ සමග ඉරානයට ගිය බව ද එහිදී ඔහුගේ බිරිඳ හිජාබය පැළඳ සිටි බවද” සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

ඉහත කරුණ සම්බන්ධයෙන් ප්‍රචලිත වූ ඡායාරූපය ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි පිහිටි ඉරාන් ඛනිජ සම්පත් කෞතුකාගාරයේ පැවැති හමුවීමෙන් පසු ගනු ලැබූ ඡායාරූපයකි. ඡායාරූපයේ දක්නට ලැබෙන ශ්‍රී ලාංකික කාන්තාව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.ආර්.ඔල්කා මහත්මියයි.

කෙසේවෙතත්, අමාත්‍යවරයාගේ ලේකම්, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ ලෙස වැරදි තොරතුරු සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව දක්නට ලැබේ.

අදාළ ඡායාරූපය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල facebook පිටුවේ පළ කර ඇති අතර, අදාළ හමුවීමේ බලශක්ති අමාත්‍ය ලේකම් කේ.ටී.ආර්.ඔල්ගා මහත්මිය ද සහභාගී වූ බව සඳහන් වේ.

එමෙන්ම මෙවැනි විදේශ නිල හමුවීම්වල දී අමාත්‍යවරුන්ගේ කිසිඳු ඥාතියෙක් සහභාගී නොවීම සම්ප්‍රදාය වේ. එපමණක් නොව, ඉරානය තුළට ඇතුළු වන සියලුම කාන්තාවන් ජාති, ආගම් භේදයකින් තොරව හිස ආවරණය කළ යුතු බව එම රටේ නීතිය වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *