වැලිකඩ බන්ධනාගාරය හොරණට – හිස්වන ඉඩමේ හෝටල් ව්‍යාපෘතියක් ?

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අය සම්බන්ධයෙන් පහසුකම් ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයාබැලීමට සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශකර තිබේ.

රුපියල් බිලියන 30ක් වැයවන එම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත අතර රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදුනොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍ය මෙහි දී ප්‍රකාශ කර ඇත.

මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 40ක වැලිකඩ බන්ධනාගාර භූමිය හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

බන්ධනාගාර භූමියේ ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් ඒ සඳහා වෙන්කර ඇති බව වාර්තා වේ.

ඒ, හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කර ඇති අතර ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වනවිටත් එම ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ලොහාන් රත්වත්තේ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

දැනට කැමැත්ත පළකර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *