ජිප්සිස් නායක ප්‍රවීණ සංගීතඥ සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සිස් නායක ප්‍රවීණ සංගීතඥ සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සිස් නායක ප්‍රවීණ සංගීතඥ සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා (6) අලුයම අභාවප්‍රාප්ත විය.

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි ඔහු දින කිහිපයකට පෙර සුවය ලබා නිවසට ගිය අතර යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් (5) දිනයේදී යළිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි. එහි ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා මහතා මිය යන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.

ගායකයකු, වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා මහතා මෙරට කණ්ඩායම් සංගීතයේ විප්ලවයක් කළ අයකු ලෙස සැලකේ.

ඔහු සමාජයේ විවේචනය කළ යුතු දේ විවේචනය කිරීම සඳහා සිය නිර්මාණ හැකියාව යොදා ගත් කලාකරුවෙකි. සිංඤ්ඤෝරේ, ලුණු දෙහි, පාවෙන පීරිසියක්, වඩුවැඩෙන් දිවි රකින, ලංකාවේ, එහෙම වෙන්නෙ ඇයි අයි ඩෝන්ට් නෝ වයි, කැඩපතකින් කිසි දවසක නෑ, නෝනෙ මගෙ සුදු නෝනේ, කොත්තමල්ලි, සුමිහිරි පානේ, ඕයේ ඔජායේ, පිටි කොටපං නෝනේ ආදී ගීත රැසක් ඔහු නිර්මාණය කර ගායනා කළේය.

1952 වසරේ සැප්තැම්බර් 14 වන දා උපත ලද අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙකි. සිය පියාගේ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11 දී පමණ සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල් පෙරේරා ඇතුළු තම සොහොයුරන් හා ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.

ගීතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වී සිටි සුනිල් පෙරේරා මහතා ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *