සහල් ගැසට් නිවේදනයද රිවස් වෙයි ද?

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව කීරි සම්බා සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් රතු හා සුදු සම්බා මිල රුපියල් 103ක් ලෙසත් නියම කර තිබෙනවා. මීට අමතරව සුදු හෝ රතු නාඩු මිල රුපියල් 98ක් වන අතර සුදු හෝ රතු කැකුළු මිල රුපියල් 95කි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග මහා පරිමාණ සහල් මෝල් හිමියන් දැඩිලෙස කලබලයට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සියලු දෙනා පොළොන්නරුවට රැස් වී තිබෙනවා.

එහිදී සහල් මෝල් හිමියන් සියලු දෙනාම පවසා තිබෙන්නේ මෙම මිලට කිසිසේත්ම සහල් අලෙවි කළ නොහැකි බවයි. පසුගිය කාලයේදී වැඩි මුදලකට ලබා ගත් වී, සහල් බවට පත්කර විශාල පාඩුවක් ලබමින් අලෙවි කළ නොහැකි බවයි ව්‍යාපාරිකයන් පවසා තිබෙන්නේ.

ඒ අනුව අවසානයේදී සහල් මෝල් හිමියන් සියලු දෙනාම ඒකමතිකව තීරණය කර තිබෙන්නේ සහල් නිෂ්පාදනය සම්පූර්ණයෙන් අත්හිටුවා මෝල් වසාදැමීමටයි. කොරෝනා අවදානම හේතුවෙන් සහල් මෝල්වල කටයුතු අත්හිටුවන බව පවසා සියලු සේවකයන් හරවා යැවීමටයි තීරණය කර තිබෙන්නේ.

සහල් ව්‍යාපාරිකයන් විසින් ඔවුන් එළඹි තීරණය සිය හිතවතුන්ටද පවසා ඇති අතර ඉන්පසු එම තීරණය ජනාධිපතිවරයා වෙත ගොස් තිබෙනවා. මින් දැඩිලෙස කලබලයට පත්ව ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැනෙකින් ඩඩ්ලි සිරිසේන මහතා අමතා ඇති අතර, සහල් නිෂ්පාදනය අත්හිටුවීමට තීරණය කළේදැයි විමසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා, ගැසට් නිවේදනය හේතුවෙන් සහල් මෝල් හිමියන්ට මුහුණදීමට සිදුවන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ යම් කාලසීමාවකට හෝ නියම කර ඇති මිලට සහල් අලෙවි කරන ලෙසයි. මේ වනවිටත් රජය ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, ආණ්ඩුව තවදුරටත් අපහසුතාවයට පත් නොකරන ලෙස ඩඩ්ලි සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

සිරිසේන මහතා පවසා තිබෙන්නේ, ‘තරහා වෙන්න එපා ජනාධිපතිතුමා, ඔබතුමා මගේ ඉතා හොඳ මිත්‍රයෙක්, ඒත් මේ වෙලාව‍ෙ මට හාල් මෝල් හිමියොත් එක්ක එකට ඉන්න වෙනවා. මේ ගත්ත තීරණය නං ක‍ොහොමවත්ම වෙනස් කරන්න බෑ. ඔබතුමාට පුලුවන් නං ගැසට් නිවේදනය වෙනස් කරන්න. අඩුගානෙ නාඩු හාල්වලට වත් මීට වඩා වැඩි, සාධාරණ මිලක් ලබාදෙන්න. එහෙම නැත්තං අපිට වෙන්නෙ ආණ්ඩුව බේරගන්න ගිහින් අපේ බිස්නස් ටික නැතිකර ගන්න’ යනුවෙනි.

ජනාධිපතිවරයා කෙතරම් කරුණු පැහැදිලි කළද ඩඩ්ලි සිරිසේන මහතා සිය තීරණය වෙනස් කිරීමට එකඟ වී නොමැත.

අවසානයේදී ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ, සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමාරිස් ජනරාල්, මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පොළොන්නරුවට එවන බවයි. ඔහු (03) ‍‍‍සඟවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පිළිබඳව සොයා බැලීම සඳහා වැලිකන්ද ප්‍රදේශයට ගොස් තිබිණි.

නිවුන්හැල්ල මහතා සමග සාකච්ඡා කර සුදුසු විසඳුමකට පැමිණෙන ලෙසත්, කුමන හේතුවක් මත හෝ රජය අපහසුතාවයට පත් කිරීමට ඉඩ නොතබන ලෙසත් ජනාධිපතිවරයා නැවතත් ඩඩ්ලි සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම සහල් මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කළ නමුත් අවසානයේදී රටේ සහල් මිල තීරණය කරන්නා බවට පත්වූයේ ඩඩ්ලි සිරිසේන මහතායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *