600ක ඇන්ටිජන් එක 2000යි! 2500ක පීසීආර් එක 6500යි! මෙහෙම මිනිස්සුන්ව හූරන් කන්න දෙන්න එපා!

කොරෝනා රෝගය පාලනය කිරීමේදී ආණ්ඩුව ෆේල් - සජීත් ප්‍රේමදාස

කොරෝනා රෝගය පාලනය කිරීමේදී ආණ්ඩුව ෆේල් - සජීත් ප්‍රේමදාස

ඖෂධ මාෆියාවක් තුළින් ගජමිතුරන්ට වරදාන දීම වහා නවතන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.

පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000ක මුදලක් නියමකොට ඇත.

එහෙත් මේ ගැසට් නිවේදනය මගින් තහවුරු කොට ඇත්තේ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් තුළ පවතින බරපතළ මාෆියාව ය. එමෙන්ම, එය කොරෝනා ව්‍යසනය තුළින් ද ගජමිතුරන්ට ව්‍යාපාර කිරීම උදෙසා පසුබිම සකසා දීමෙහි රංගනයකි.

◼️ රුපියල් අසූවක් පමණ මිල වන රැපිඩ් ඇන්ටිජන් මෙවලමකින් රුපියල් 2000- 2500 අතර මුදලක් පෞද්ගලික රෝහල් විසින් අයකරන අතර සත්‍ය වශයෙන්ම රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවක් රු.600ක මිලකටත්,පී.සී.ආර් පරීක්ෂණයක් රුපියල් 2000 කටත් කළ හැකිව තිබේ.

ජනතාව ගැන සිතා යැයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහමුලින්ම පුස්සක් වන අතර, අදාළ ගැසට් නිවේදනය තුළින් සහතික කොට ඇත්තේ පවත්නා ඖෂධ වෙළඳ මාෆියාව සාධාරණ යැයි කියාය.

◼️ඇන්ටිජන් කට්ටල ගෙන්වීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබා දී ජනතාවට සහනදායි මිලට ලබා දීමේ හැකියාව ආණ්ඩුවට පැවරී ඇති අත් නොහැරිය යුතු වගකීමක් වුවත් එකී වගකීමෙන් අදාළ ආයතනය අත් දෙක පිස දමා ගෙන ඇත්තේ, තෝරාගත් ආයතනයකට ඖෂධ ඒකාධිකාරය පවත්වාගෙන යන්නට ඉඩ ලබා දෙමිනි.

මේ බරපතළ ව්‍යසනකාරී මොහොතේ අතිශය පිළිකුල් සහගත සහ සහසික මට්ටමේ ඖෂධ වංචාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර තම රජ මිතුරන්ට සහන සැලසීමේ තවත් එක් වරදානයක් ලබා දීමක් නිසා ආණ්ඩුව මේ පිළිබඳව නෑසූ කන්ව බලා සිටී.

◼️කොරොනා ව්‍යසනයෙන් අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත හිලව්වට තබමින් මෙවන් ගෝත්‍රික පන්නයේ මාෆියාවන් ගොඩනැඟීමට ආයතනවලට අවසර ලබා දෙන ආණ්ඩුව ජනතාවගෙන් නින්දාවට පාත්‍ර වී ඇති අතර මෙතරම් නින්දාසහගත අපරාධයන් සිදු කිරීමට ඉඩ හසර ලබා දීම පිළිබඳව අප අපගේ පිළිකුල සහ විරෝධය පළ කර සිටිමු .

◼️ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම අහඹුවක් නොවන අතර, මේ පවත්නා ඖෂධ මාෆියාවත් අදාල ඒකාධිකාරී ආයතනික ක්‍රියාවලියත් ඖෂධ නියාමන අධිකාරියක් අතර සිදුව ඇති කුමන්ත්‍රණයක්ය යන්න බැහැර කළ නොහැකි මතයකි.බැවින් ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු ය.

“ගැසට් රිවස් කිරීම” සම්බන්ධව වර්තමාන ආණ්ඩුවට කුප්‍රකට ඉතිහාසයක් ඇති හෙයින් ජනතාව පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් ඇත්නම් ආණ්ඩුව වහාම කළ යුත්තේ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය සංශෝධනය කොට,ඇන්ටිජන් පරීක්ෂාවක් රු.600ක මිලකටත්,පී.සී.ආර් පරීක්ෂණයක් රුපියල් 2000ත් කළ හැකි සීමාවට යටත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *