ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්ත්වයට වැටුණු ගෝඨාගේ ආණ්ඩුව

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්ත්වයට වැටුණු ගෝඨාගේ ආණ්ඩුව

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්ත්වයට වැටුණු ගෝඨාගේ ආණ්ඩුව

‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ’ විත්තියක් ගැන කියැවෙන සුප‍්‍රසිද්ධ ජන කවියක් තිබේ. ඒ කවියට අනුව ළිඳකට වැටෙන්න ගිය මිනිහෙකුට තුන් ආකාරයක මරණ බියක් ඇත්තේය. එනම් ළිඳේ වැටුණොත් ළිං පතුලේ සිටින නයා දෂ්ට කරයි. ළිඳෙන් ගොඩ ආවොත් කැලයේ සිටින අලියා ඔහුව මරා දායි. ළිඳට වැටෙන්න යන ඔහු එල්ලී සිටිනුයේ කරවැලා නම් සර්පයෙකුගේය. ඌ විසකුරු සතෙකි. මේ මරණ තුනම අබියස වුව මිනිසා තමා අතෙහි තිබෙන පැණි බෑය එනම් පැණි වදය බුදින්නේය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවද තිබෙන්නේ මෙවන් මරණ තුනක් අබියසය. පළමුවැන්න කොවිඞ් වසංගතයය. දෙවැන්නට රටේ පවතින විදේශ විනිමය හිඟය හා ආදායම හිඟවීම ඔස්සේ ඇතිව තිබෙන උද්ධමනාකාරී ආර්ථිකයය. තෙවැන්න රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගිලිහී යමින් තිබීම හා විදේශ සබඳතාවන්හි දක්වන අසමත්භාවයය. එවන් වාතාවරණයක් තුළ නගර සංවර්ධන කටයුතු ජොගින් පාත් හැදීමේ කටයුතුවලට මුල්තැනක් දෙමින් ආණ්ඩුව කටයුතු කිරීම මරණ තුනක් ඇති මිනිහාගේ පැණි කන්නා සේ නොවන්නේද?

පැණිකමින් සිටියද ආණ්ඩුව ආර්ථිකය ගොඩනගා ගැනීමට විදේශ සබඳතා අලූත් කරගනිමින් මෙතෙක් චීන ගැති ප‍්‍රතිපත්තියෙන් බැහැර වී තමන් නොබැඳි පිළිවෙතක සිටින බව උත්සාහ කිරීමට ආණ්ඩුව දැඩි වෑයමක යෙදෙන බව ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගේ පසුගිය ආසන්නම ක‍්‍රියාකාරකම් දෙස බලන විට ප‍්‍රදර්ශනය වේ.

මෙයින් වඩාත් ප‍්‍රදර්ශනය වනුයේ ඇමරිකාව හා බටහිර රටවල් සමග ඇයි හොඳයියක් පවත්වා ගැනීමට කළ උත්සාහයය.

මුදල් ඇමතිවරයා ලෙස වැඩකර ගැනීමට පෙරාතුව ජනාධිපති සොහොයුරු බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සංචාරය කළේ නිකම්ම නිකන් නොවේ. ඔහු මාසයක් පුරා ඇමරිකාවේ වෙසෙමින් ඇමරිකාවේ ඉහළ රාජ්‍ය නිලධාරීන් නිල නොවන මට්ටමින් මුණ ගැසී සාකච්ඡා පවත්වමින් උත්සාහ දරා ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්ති නොබැඳි පිළිවෙතක් ලෙස ඔවුනට පහදා දීමටය. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳවත් කිසියම් සංඥාවක් දෙන්නට ඇතිවාට සැක නැත. ඒ ඔස්සේ තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය චීනය දෙසට දැඩි නැඹුරුවක් නොමැති බව අඟවන්නටය.

ඇමරිකානු ගමනට පෙර මාසයේදී බැසිල් රාජපක්ෂ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් හා ඇමරිකන් රාජ්‍යතාන්ත‍්‍රිකයන් අතර මුණගැසීමක් කොළඹදී සිදුව තිබේ.

ශ‍්‍රී ලංකාවේ පරිහානියට යමින් තිබෙන ආර්ථිකය, කොවිඞ් වසංගතය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම, දෙමළ ජනතාව මුහුණදෙමින් සිටින ගැටලූවලට විසඳුම් දීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අබිමුව තිබෙන ප‍්‍රශ්න විසඳීම යනාදිය ගැන මේ නොනිල සාකච්ඡාවේදී වඩාත් අවධානය යොමු කළ කරුණු බවත් දැනගන්නට ඇත. ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් ද මෙම සාකච්ඡුාවලට සහභාගි වීම තුළ එය නොනිල සාකච්ඡුාවක් ලෙස සිදුවුවද බරපතළ සාකච්ඡුාවක් බව පැහැදිලි වේ.

කෙසේ වුවත් බළලා මල්ලෙන් එළියට පනින්නා සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පෙරළා මෙරටට පැමිණි පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් වැඩ කරන බවය.

බැසිල් රාජපක්ෂ හදිසියේදී සිදු කළ ඇමරිකානු සංචාරය සමග පෙරළා මෙරටට පැමිණි ඇමරිකානු තානාපති නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හමුවීමද මේ සහයෝගය දක්වන බවට ඉඟි සපයයි.

ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා තීව‍්‍ර කරගැනීමට ආණ්ඩුව සිය උපායයන් වෙනස් කරන ස්වභාවයක් දක්නට ඇත. ඒ මේ මාසයේදී විශ‍්‍රාම යෑමට නියමිත ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ වෙනුවට දැනට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලලිත් චන්ද්‍රදාස පත්කරමින්ය. ලලිත් චන්ද්‍රදාස යනු ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ සහෝදරයන්ගේ මස්සිනාය.

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ ආණ්ඩුවට අයත් කොටස්වලින් 40%ක් ඇමරිකාවේ පෝටුස් එනර්ජි නම් ඇමරිකන් සමාගමකට පැවරීමේ යෝජනාවක්ද මේ වන විට පවතී. මෙයට පෙරාතුව ඇමරිකන් සමාගමකට නැවකින් එල්එන්ජී ගෑස් මෙම බලාගාරයටම ලබාගැනීමේ උත්සාහයක් පැවති අතර නැවේ සිට කෙරවළපිටිය බලාගාරය දක්වා ගෑස් ලබා ගැනීමට නළ මාර්ගයක් නොතිබූ බැවින් එය යටපත්ව ගියේය. ඒ අතරම ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඇමරිකන් සමාගමකට පැවරීමටද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට රාවයක් පවතී.

කෙසේ වුවත් මෙම ක‍්‍රියාදාමයන් වෙතින් පෙනෙන්නේ ආණ්ඩුව ඇමරිකාවට හා බටහිර රටවලට මෙරට ආයෝජන අවස්ථා උදාකර දීමට සූදානම්ය යන්න පිළිබඳ සංඥාවක් බව නම් පැහැදිලිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු වෙන වෙනම මුණ ගැසී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව වසර දෙකකට පසුවවීමත් මෙම උත්සාහයේම කොටසක් බවට සිතිය හැකිය.

මේ වකවානුවේදීම ජනපති ගෝඨාභය රාජපක්ෂ තමන්ව මුණ ගැසෙන ලෙසට දෙමළ ජාතික සන්ධානයට ද ආරාධනා කළේය. බැසිල් රාජපක්ෂ විදේශගතව සිටි බැවින් මෙම හමුව හදිසියේ නතර කෙරිණි. මේ බැව් ආණ්ඩුවේ සමීප මාධ්‍යයද වාර්තා කර තිබුණේය.

පසුගිය දිනෙක ඇමරිකන් තානපති නිල නිවස වන ජෙෆර්සන් හවුස්හි පැවති රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සුවිශේෂ පුද්ගලයන් කිහිපදෙනෙක් සහභාගි වූහ. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්ද මෙයට සහභාගි වූවෝ වෙති.

දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී සුමන්තිරන් මෙම අවස්ථාවට සහභාගි වීම ජනපතිවරයා සමග පැවැත්වීමට සූදානම්ව අවලංගු වූ හමුව නැවත හමුවකට විවර කරන්නක් ලෙසද සැලකිය හැකි වේ.

රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට අමාත්‍ය ජී.එල්. පීරිස් සහභාගි වූයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙසිනි. ඔහුට විදේශ අමාත්‍ය ධුරය පිරිනමනු ලැබුවේ මෙම රාත‍්‍රී භෝජන සංග‍්‍රහයෙන් පසුවය. එහි තිබෙන රහස වන්නේ අනාගත විදේශ ඇමතිවරයා වශයෙන්ද විය හැකිය. එහෙත් එවකට සිටි විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනට මෙම භෝජන සංග‍්‍රහයට ආරාධනාවක් තිබී නැත. එයට හේතුව ඔහු උග‍්‍ර සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු නිසාත් ඔහුගෙන් විදේශ ඇමති ධුරය ගැලවෙන බවත් ඇමරිකන් තානාපති කාර්යාලය කල්වේලා ඇතිවම දැනගෙන සිටි නිසාද විය හැකිය.

දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී ඇමරිකන් තානාපතිගේ භෝජන සංග‍්‍රහයට සහභාගි වන විට එම සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ මුණ ගැසුණේය. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවද දැනුවත් කිරීමත් ඒ ගැන දෙමළ ඩයස් පෝරා සංවිධානවල අදහස් දැනුම්දීමත් මේ හමුවේදී සිදුව ඇත.

මේ මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා දෙමළ ජාතික සංවිධානයේ නියෝජිතයන්ට ඇරයුමක්ද ලැබීමට නියමිත අතර එම සංචාරයේදී දෙමළ ජාතික සංවිධානයේ නියෝජිත පිරිසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද මුණ ගැසී සාකච්ඡුා කිරීමටද නියමිත බව දැනගන්නට ඇත.

පුද්ගලයන් අතුරුදහන්වීම, පැහැරගෙන යෑම, මරා දැමීම්, යුද අපරාධ වැනි කාරණා විමර්ශනය සඳහා පත් කළ කොමිෂන් වාර්තා විමර්ශනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ නවාස් කොමිසමේ අතුරු වාර්තාව නිකුත්වීමත් සමගම ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ ප‍්‍රකාශයක් නිකුත් කර තිබුණේය.

ඉකුත් ජූලි 21දා නිකුත් කළ එම පණිවුඩය වන්නේ ”වගවීම හා මානව හිමිකම් තහවුරු කිරීම සඳහා අපි එක්සත් ජාතීන්ගේ, මානව හිමිකම් සංවිධානය සමග වැඩ කිරීමට කැපවී සිටින්නෙමු. තිරසාර සාමය හා සංහිඳියාව ඇතිකර ගැනීමට අවශ්‍ය ආයතනික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතිමය රාමුව තුළ ඇති ගැටලූ විසඳීමට කැපවී සිටින්නෙමු” යන්නය.

ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩය වෙතින් පෙනෙන්නේ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම, දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටීම වැනි ආණ්ඩුව විසින් සිදු කළ මානව හිමිකම් කඩකරමින් සිටින බැවින් යුරෝපා කොමිසම රාජපක්ෂ ආණ්ඩුවට දන්වා තිබුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංවිධානය කරන ලෙසටය.

එසේ නොකළහොත් යුරෝපා රටවලින් ශ‍්‍රී ලංකාවට ලබාදී තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය මීට පෙරදී මෙන් අහිමි වෙතැයි යන බියද ජනාධිපතිවරයාගෙන් ට්විටර් පණිවුඩය තුළ ගැබ් වී තිබේ.

යම් හෙයකින් එසේ ජී.එස්.පී. සහනය අහිමි වුවහොත් මේ වනවිටත් ඉහළම විදේශ විනිමයක් උපයා දෙන ඇඟලූම් ක්ෂේත‍්‍රය කඩා වැටී ශ‍්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇත.

ආණ්ඩුවේ උපදේශකයකු තරමටම කැපී පෙනෙන හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහද පවසන්නේ රට ගිලී තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ලබා ගන්නා ලෙසටය. ණය ප‍්‍රදානයේදී ඉතාම අඩු පොලියක් අය කරන මූල්‍ය ආයතනය එය වුවත් එයින් ණය ලබා ගැනීමේදී පනවන ණය කොන්දේසි සපුරාලීමට අවස්ථාව අසමත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම අපහසුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමට ශ‍්‍රී ලංකාවට පනවන කොන්දේසි හයකි.

අයවැය පරතරය පටු කිරීම
රුපියලේ අගය පාලනය කිරීම
රජයේ ආදායම් වැඩිකර ගැනීම
රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය කරගැනීම
මහජන මුදල් කළමනාකරණය
වෙළෙඳාම හා ආයෝජන ප‍්‍රවර්ධනය

මේ කොන්දේසි ඉටුකිරීම මේ සම්මජ්ජාතියේදී නම් පවතින ආණ්ඩුවට හැකියාවක් ඇතැයි නොපෙනේ. රටේ ආර්ථිකය බංකොළොත් වී තිබෙන තත්ත්වය බරපතළය.

මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහළ නොයන බවටත්, ඇමරිකාවේ පැට‍්‍රල් මිල ශ‍්‍රී ලංකාවේ මිලට වඩා ඉහළ බවටත් පවසන මුදල් රාජ්‍ය ඇමතිවරයකු (අජිත් නිවාඞ් කබ්රාල්) සිටින රටක එබන්දක් ගැන සිතන්නටද නොහැකිය.

අනෙක් අතින් සැලකිය යුතු කරුණක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ‍්‍රී ලංකාව ණය ඉල්ලූ අවස්ථාවන්ගෙන් මුළු ණය මුදලම ලැබී ඇත්තේ දෙතුන් වතාවක් පමණක් වීමය. අනෙක් සෑම වතාවකදීම ණය කොන්දේසි ඉටු නොකිරීමේ හේතුව මත එසේ පොරොන්දු වූ ණය මුදල්වලින් කොටසක් පමණක් ලබාදී තිබෙන බවත් සැලකිල්ලට ගතයුත්තකි.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සිය ධුරයට පත්වීමෙන් පසුව මුලින්ම මුණ ගැසුණු රාජ්‍යතාන්ත‍්‍රිකයා වන්නේ ඇමරිකන් තානාපතිනිය වේ.

මේ අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන නිලධාරීන් පුහුණුව වෙනුවෙන් වන ‘පාට්නර්’ වැඩසටහන සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යූඑස්එයිඞ්ස් ආයතනය සහ ලංකා වාණිජ මණ්ඩලය අතර සිදුවූ ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුම ජී.එල්. පීරිස් විදේශ ඇමතිවරයා විසින් ඉතාමත් සතුටින් භාර ගැනීමද ඇමරිකන් හිතවාදී විදේශ ප‍්‍රතිපත්තියකට ශ‍්‍රී ලංකාව නුදුරේම එළඹෙන බවට කළ ඉඟියක් වැනිය.

රාජපක්ෂ ආණ්ඩුවේ අලූත්ම වෙස් මුහුණු බැඳීම නම් ඔවුනට බලයට පත්වීමට අතහිත දුන් ජාතික බලවේගවල අසතුටට හේතුවක්ව ඇති බව පෙනේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට උස්සා තැබීමට කර ගැසූ ප‍්‍රධාන බලවේගයක් වන ජාතික සංවිධාන එකමුතුව සිටින්නේ හොඳ සිතින් නොවන බව පැහැදිලි වන්නේ එම එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ ප‍්‍රකාශයකි.

ඇමරිකාවට ඥාති සබඳතාවක්ද පවතින ඇමරිකන් හිතවාදියෙකු යැයි හංවඩු ගසා තිබෙන මිලින්ද මොරගොඩ සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශයක් කර ඇත.

”මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් සංවිධානය ආණ්ඩුවේ කකුලෙන් අදිමින් යායුතු මග වෙනුවට වෙනත් මගක් වෙත තල්ලූ කරනවා.”

ඒ සමගම ඔහු පවසනුයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු උපදේශකයන් රාශියක් පාත්ෆයින්ඩර් සංවිධානයේ සාමාජිකයන් බැවින් ඔවුන්ට ආණ්ඩුවේ දැක්ම වෙනස් කිරීමේ හැකියාවක් ඇතැයි යනුවෙනි. එය එක් අතකින් ඔවුන්ගේ වියත් මග සංවිධානය සහ පාත් ෆයින්ඩර් ආයතනය (මිලින්ද මොරග) සමග ඇති අභ්‍යන්තර ආරාවුලද පෙන්නුම් කරන්නකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 50 දෙනෙකුට අධීක්ෂණ මන්ත‍්‍රී ධුරයක් ලබාදී ඒ සඳහා වාහන ඇතුළු වෙනත් පහසුකම් ලබාදීමට ආණ්ඩුව සැරසෙන බවට මේ වන විට රාවයක් පැතිරෙමින් තිබේ.

මෙතෙක් චීනය දෙසට නැඹුරු විදේශ ප‍්‍රතිපත්තිය ඇමරිකාව හා බටහිර දෙසට නැඹුරුවීමේදී ඊට ආණ්ඩුව තුළින්ම විරෝධයක් නැගෙන්නේ නම් එය වළකා ගැනීමේ අරමුණින් එවැනි ක‍්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගන්නට ඇතැයි යන සැකය කෙනෙකු තුළ ඇති වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.

කෙසේ වුවත් සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැය වාර්තාවෙන් මේවා පිළිබඳ කිසියම් ඉංගිතයක් ලබාගැනීමටද හැකිවනු ඇත.

– ravaya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *