රජය ට්‍රිලියනයක මුදල් අච්චු ගහලා.. බඩු මිල 50%කින් ඉහල ගිහිල්ලා.. දැන් රාජ්‍ය සේවකයාගේ වැටුපට අත තියන්න සූදානම්

ඇති හැකි අයට දැවැන්ත බදු සහනයන් ලබා දී රාජ්‍ය ආදායමෙන් සියයට තිහක් අහිමි කරගැනීමට කටයුතු කළ ආණ්ඩුව දැන් රාජ්‍ය සේවකයාගේ වැටුපට, විශ්‍රාම වැටුපට, අර්ථ සාධකයට අත තබන්නට සූදානම් වන බව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ එකදු රාජ්‍ය ආයතනයක්වත් රාජපක්ෂ පාලනය විසින් ගොඩ නොගත් බවයි.

පසුගිය රජය සමයේ ලාභ ලැබූ රාජ්‍ය ආයතන ද, මේ රජය විසින් පාඩු ලබන තත්ත්වයට පත් කර ඇති බව පෙන්වා දුන් රණවක මහතා රට තුළ නිෂ්පාදනයකින් තොරව රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම නිසා භාණ්ඩ මිල සියයට පනහකින් පමණ ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය.

නවලිබරල්වාදීන් ලෙස චෝදනාවට ලක් වූ යහපාලන ආණ්ඩුව මගින් රටේ වැඩ කරන ජනතාවට රුපියල් දහදාහක දීමනාවක් ලබා දී 20% බැගින් සෑම වසරකම මූලික වැටුපට එකතු කිරීමට කටයුතු කළ බව ද රණවක මහතා පෙන්වා දුන්නේය.

ගුරු විදුහල්පතිවරුන් ඇතුළු පිරිස සඳහා 2020 ජනවාරි මාසයේ සිට වැටුප් වර්ධක ලබා දීමට නිර්දේශ කොට තිබියදී වර්තමාන ආණ්ඩුව විසින් එය අත් හිට වූ බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප ට එකතු විය යුතු මුදල් සියල්ලම ආණ්ඩුව විසින් අයුතු ලෙස අත් කර ගත් බව ද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

” රාජ්‍ය සේවකයාට ලැබිය යුතු වැටුප් වර්ධක සියල්ලම නතර කරලා, එතනින් නොනැවතී අද කැපවීම් කරන්න කතා කරනවා. හැබැයි, මේ කාලේ තරම් වංචා, දූෂණ, මහා පරිමාණයෙන් වෙච්ච කාලයක් නැති බව අපි දන්නවා. සීනි වංචාව පොල්තෙල් වංචාව කළා. ඒ වගේම ඩොලර් හිඟයක් ඇති කළා.

මේක මම අවධාරණය කරලා කියනවා පොහොර ගෙන්නන්න බැරි උනේ අප්‍රේල් මාසෙද ඩොලර් හිඟයක් ඇති වෙච්ච නිසා. ඒ පොහොර ගෙන්නන්න ඩොලර් හිඟය ඇති වුණේ මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච දැවැන්තම වංචාව වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට දෙදාස් දොළහ, දහතුන කාලේ ගැනීමට ගිහිල්ලා සිදුකරගත්තා වූ දැවැන්ත වංචාව. ඒ වංචාවේ ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්නයි කියලා කෝප් කමිටුව ඉදිරියට ආපු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාම පිළිගත්තා. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල් බිලියන දෙසීයකට අධික ප්‍රමාණ්‍යක දැවැන්ත පාඩුවක්. එහෙම විනාශයක් කරපු ශ්‍රී ලංකන් එකට ඩොලර් මිලියන පන්සීයක් ලබා දෙන්න තීරණය කළා මාර්තු මාසෙදි, කැබිනට් මණ්ඩලය. ඒකෙන් දෙසිය හතළිහක් දුන්නා. මේ තමන්ගේ ඥාතියා කරපු ජාවාරම යටගහන්න. මොකද උනේ? පොහොර ගෙන්න සල්ලි නැති වුනා. ඒ අනුව තව මාසෙකින් අපිට බලාගන්න පුළුවන් තේ කොළවල අස්වැන්න දැනටම අඩු වෙලා තියෙනවා. පොල් අස්වැන්න අඩු වේගෙන යනවා. රබර් අස්වැන්න කුරුදු අස්වැන්න අඩු වේගන යනවා. එළවළු, පලතුරු අස්වැන්න අඩු වේගන යනවා.

ඊළඟ මහ කන්නයේදී අපිට පෙනෙයි කුඹුරු අස්වැන්නට වෙන දේ. ඒ නිසා තමන්ගේ ජාවාරම්කාර ඥාතියා ආරක්ෂා කරන්න රටේ වටිනා විදේශ විනිමය පාවිච්චි කරලා තමයි අද තියෙන මේ සාගතය ඇති කළේ. ඒ නිසා කැපවීම් කරන්න කියන්න කිසිම සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නැති බව ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා ඔබේ ශ්‍රමයෙන්, ඔබේ දහඩියෙන් මේ රජයේ බොහෝ සේවාවන් අදටත් ගෙනියන්නේ ඔබ. බොහෝ දෙනා අනතුරට ලක් වෙලා තියෙනවා, ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා මේ කොරෝනා එක නිසා ඔබේ දූ දරුවෝ ඇතුළු සියලු පිරිස් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඔබේ පඩියෙන් අද යාන්තමටවත් ජීවත් වෙන්න නොහැකි තත්ත්වෙට ඔබව පත් කරලා තියෙනවා, ඔබේ ජන්දය සියට හැත්ත පහක් ලබා දුන්නේ මේ ආණ්ඩුවට, මේ නායකයට, හැබැයි ඔබ ගැන කිසිම කම්පනයක්, සහකම්පනයක් ඔවුන්ට නෑ. ඒක නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ අවස්ථාවේදී දේශපාලන භේදයෙන් තොරව සංවිධානය වෙන්න.

මේ එන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ එන්නේ ඉදිරියේදී රජයේ සේවකයාගේ වැටුපට විශ්‍රාම වැටුපට, ඒ වගේම බැංකුවල දාල තියෙන අපේ යම් යම් ගිණුම්වලට අත තියන්න රාජපක්ෂලා මේ එන්නේ. ඊළඟ පියවරවල් ටික ඒකයි. ඒක නිසා ඒක ගැන මනා අවබෝධයකින් යුතුව සංවිධානය වෙලා කටයුතු කරමු කියන එක මුළු රාජ්‍ය සේවකයන්ගෙන්ම ඉල්ලා හිටිනවා. මේ කාරණයේදී ඔබ සියලු දෙනාගේම සංවිධානය අත්‍යාවශ්‍යයි”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *