කොරෝනා සමග වළපල්ලට යන ආර්ථිකය – නව මුදල් ඇමතිවරයාගෙත් කෙරුවාව

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්; කොරෝනා සැබෑ තත්වය විශ්ලේෂණය කර ගැනීම වැදගත් - උපුල් රෝහණ

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්; කොරෝනා සැබෑ තත්වය විශ්ලේෂණය කර ගැනීම වැදගත් - උපුල් රෝහණ

ලූණු කැටයේ සිට සීනි කැටය දක්වාත්, අබ ඇටයේ සිට උළුහාල් ඇටය දක්වාත් අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ නැංවීම තුළ ආණ්ඩුවේත් මොළ හතේ නව මුදල් ඇමතිවරයාගෙත් කෙරුවාවේ තරම රටට හෙළිදරව් වූයේය.

පුංචි ටිකිරි මොළ ඇබින්දක් පමණක් ඇතැයි නිශ්චිතවම සිතිය හැකි රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල් පවසා ඇත්තේ මුදල් අච්චු ගැසුවාට උද්ධමනයක් ඇති නොවන බවය. ඔහු කියන්නේ ඇත්තය. එසේ වූ විට බඩු මිල ඉහළ යෑම වැළැක්විය නොහැකිය. ගෑස් මිල රුපියල් 365කින් ඉහළ යෑම උද්ධමනය නොවේ. ඉදිරියේදී කිරි පිටි මෙන්ම තෙල් මිලද ඉහළ යෑමට නියමිතය. එය වළකා ගත හැක්කක් නොවනු ඇත. විශේෂයෙන් තෙල් මිල ඉහළ යාමක් වුවහොත් එය බොහෝ බඩු භාණ්ඩ ඉහළ යාමට බලපාන බරපතළ සාධකයක් වීම නම් නොඅනුමානය.

ඒ සමග ආහාර මිල ඉහළ යෑම හා රටේ බොහෝ දෙනාගේ ආදායම් තත්ත්වය පහළ බැසීම හා මේ වනවිටත් පවතිමින් හා සිදුවෙමින් තිබෙන දේවල් අනුව රටේ සාමාන්‍ය ජනයා පමණක් නොව, මධ්‍යම පාන්තිකයාද දරුණු ව්‍යසනයකට ගොදුරුවීම වළක්වා ගැනීමේ ක‍්‍රමවේදයක් සැකසීමට ආණ්ඩුවට උවමනාවක් ඇති බවක් නොපෙනේ. හේතුව රට පවතින දරුණු ආර්ථික ව්‍යසනය අබිමුව ආණ්ඩුව ඊට මුහුණදීමට සූදානමක් ඇති බවක් නොපෙනෙන බැවිනි.

රටේ ඩොලර් සංචිතය පතුළටම බැස තිබෙන බව අවිවාදිතය. ඒ පතුළත් සූරාගෙන වියදම් කිරීමට සිදුවීම අනිවාර්යය. ඉන් අනතුරුව කළයුත්තේ කුමක්ද? ඒ අතර මෙතෙක් ගත් විදේශ ණය පියවීම සිදු කළ යුතුය. එසේ නොකිරීම තුළ රට අසමත් රාජ්‍යයක් බවට පත්වීම හා ලෝකය පුරා ප‍්‍රචලිතවීමත් ඔස්සේ රටත් ජනතාවත් අනාථ වීම තුළ එය සනාථ කිරීම වෙනුවෙන් ද කළ යුත්තත් නැවත ණය ගැනීමේ මාර්ගයට ප‍්‍රවේශවීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලොව ණය දෙන ආයතනයන් අතර ප‍්‍රමුඛ වන අතර ශ‍්‍රී ලංකාවද දිගින් දිගටම එම අරමුදලින් ණය අරගෙන තිබේ. එහෙත් මේ අවස්ථාවලින් පොරොන්දු වූ ණය මුදල මෙරටට ලබාදී ඇත්තේ අවස්ථා එකක් හෝ දෙකකදීය. අනෙක් සෑම අවස්ථාවකදීම ගිවිසුම්ගත මුළු ණය ප‍්‍රමාණය නිදහස් කර නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ණය ප‍්‍රදානයේදී මෙරටට පනවන කොන්දේසි 6කි.

1. අය වැය පරතරය පටු කිරීම
2. රුපියලේ අගය පාලනය කිරීම
3. රජයේ ආදායම් වැඩි කර ගැනීම
4. රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය
5. මහජන මුදල් කළමනාකරණය
6. වෙළෙඳාම හා ආයෝජන ප‍්‍රවර්ධනය

මේ කොන්දේසි දෙස බැලීමේදී අය වැය පරතරය අඩුකර ගැනීම නැත්නම් පටු කර ගැනීම කරගත හැකි නොවේ. සැමදා සිදුවූයේ පෙර වර්ෂයට වඩා ඊළඟ වර්ෂයේ අය වැය පරතරය ඉහළට ඒමය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනය කරගැනීම කිසිසේත් කරගත නොහැක්කකි. මේ වනවිටත් රුපියල් අගය පහළ යමින් ඩොලරයේ අගය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතී. අනෙක් කොන්දේසි සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් එකී කොන්දේසි ඉටු කරගත හැකැයි සිහිනෙන්වත් සිතන්නට නොහැක. සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අය වැය වාර්තාවේදී මේ වග හොඳින් පැහැදිලි කරගත හැකිවනු ඇත.

ඔන්න කණෝ පිනුම්

කොවිඞ් මරණ ප‍්‍රතිශතය අනුව ලෝකයෙන්ම වැඩිම මරණ සංඛ්‍යාව පවතින්නේ ශ‍්‍රී ලංකාවේ බව කියැවෙයි. ”අපි තමයි හොඳටම කළේ” යැයි උදම් ඇනූ අයගේ කෙරුවාව ඉන් පැහැදිලිය.

ඒ අතරේ කොවිඞ් ආසාදිතයන් අතරමැදි මධ්‍යස්ථාන හෝ රෝහල්වලට ඇතුළත් කර ගැනීම නවතින තැනට පැමිණ ඇත. ඒ බව හොඳටම පැහැදිලි වන්නේ නව කොවිඞ් ආසාදිතයන්ට නිවෙස්වලම රැුඳී සිටින ලෙස උපදෙස් දී තිබීමය. කනගාටුදායකම දේ එසේ නිවෙස්වල රැුඳවියන් පිළිබඳ සොයා බැලීමට වගකිවයුත්තන් නොපැමිණීමය. සමහරක් නිලධාරීන්ගේ දුරකතන ගොළුවී තිබේ. ඇතැම් අයට දැනුම් දුන්නද පැමිණීමට නොහැකි වන්නේ කාර්ය බහුලත්වය මෙන්ම ඔහු ශ‍්‍රම ධාරිතාවේ උපරිමයට පැමිණ තිබීම නිසාවෙනි. එනම් ඔහු විසින් කළමනාකරණය කළ යුතු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමය.

රෝහල්වල ඉඩකඩ ඇහිරී රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයමින් තිබීම රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව දිනපතා ඉහළ යෑම බරපතළ ගැටලූවක් වී තිබේ.
මියයන්නවුන්ගේ සංඛ්‍යාවද වැඩිවෙමින් තිබෙන බව පෙනෙන්නේ මෘත ශරීර දහනය කිරීමට රටේ ආදාහනාගාරවල ධාරිතාව ප‍්‍රමාණවත් නොවන බැවිනි. මෙහිදී වසංගතයට අදාළ සංඛ්‍යා දත්ත සත්‍යම ඒවාදැයි යන සැකය මතු වේ. ඒ සැකය තහවුරු කරන ප‍්‍රකාශයක් ආණ්ඩුවේ ප‍්‍රබලම කසකරුවකු වන මුසම්මිල් මන්ත‍්‍රීවරයා සිදුකර ඇත. ඔහුට අනුව කොවිඞ් ව්‍යසනය සම්බන්ධ සංඛ්‍යා දත්ත යුද හමුදාවේ නිලධාරියෙකු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ එකතුවෙන් වෙනස් කරනු ලබයි. සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් දිගින් දිගටම රටේ ජනතාව තුළ පැවති සැකය තවදුරටත් මුසම්මිල්ගේ ප‍්‍රකාශය මගින් තීව‍්‍ර කළේය.

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයකු වන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විතාරණ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කළ උපදේශකයෙකි. ඔහුගේ විශේෂඥතාව ඇත්තේ වසංගත රෝග සම්බන්ධයෙනි. ඔහු අඬ අඬා පවසන්නේ ආණ්ඩුව කොවිඞ් වසංගතය සම්බන්ධයෙන් කිසිදු කාරණාවක් ගැන තමන් හා කතාබහක්වත් නොකළ බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා උපදෙස් ගත් මහාචාර්යවරයා මේ ආණ්ඩුව ඇටෙන්ඩන්වරයකුගේ තත්ත්වයට දමා තිබේ.

ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන්නීය. පසුගියදා ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොවිඞ් මර්දන කමිටුව රැුස්වූ විට එහි මුල් පුටුවල වැජඹුණේ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාය. සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියට ලබාදී තිබුණේ කෙළවරේම පුටුවකි. මෙයින් පෙනෙන්නේ ප‍්‍රසන්න රණතුංග ඇමතිවරයා හා නිමල් ලන්සා රාජ්‍ය ඇමතිවරයා ළඟදී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරියගේ ප‍්‍රජා විශේෂඥභාවය පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ තරමටවත් සලකා නැති බවය. මෙයට කිවහැක්කේ ”ඔන්න කණෝ පිනුම්” යන ගැමි කියමන පමණය.

කොවිඞ් වසංගතය පවතින තත්ත්වය අනුව නම් කවදා හමාරවේදැයි කිසිවෙකුටත් නිශ්චිතවම ටක්කෙටම පුරෝකථන පැවසීමට හැකියාවක් නැත. එයට ප‍්‍රධානතම හේතුව නම් වෛසරය වරින් වර විවිධ මුහුණුවරින් ඉස්මතුවීමයි. කොවිඞ් 19 ලෙස ආරම්භ වූ මුල්ම වෛරසය විවිධ ප‍්‍රභේදවලින් එක් එක් රටවලින් මතු වූයේය. ශ‍්‍රී ලංකාවේ දැන් මතුව ඇති ඩෙල්ටා ප‍්‍රභේදය එවැන්නකි. ඒ අතරේ ඇමරිකාවෙන් තවත් නවතම ප‍්‍රභේදයක් සොයාගෙන තිබේ. මෙය අතිශය භයානක තත්ත්වයකි. හෙට අනිද්දා වන විට එසේ තව තවත් නව ප‍්‍රභේද මතුනොවේ යැයි සිතිය නොහැක.

ලෝකය පුරා විෂය ප‍්‍රාමාණික විශේෂඥ දැනුම යොදාවගෙන ව්‍යසනයට මුහුණදීමට සූදානම් වෙද්දී අප එදත් මුලින්ම පිහිට පැතුවේ මිථ්‍යාවෙන්ය. සිදුවෙන දේවල් අනුව නම් තවමත් පෙනෙන්නේ ඥානකාලිගේ උපදෙස් පැතීමත් ඒ අනුව ක‍්‍රියාකිරීමත් අපේ රටේ මහ උදවිය තවමත් අතහැර නැති බවය.

– ravaya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *