නියෝජ්‍ය පොලිස්පති මහානාහිමිවරු බැහැ දැකීම පාස්කු විමර්ශන වෙනතකට හැරවීමට සැලසුම්ගත හමුවීමක් බව පෙනේ – නලීන් බණ්ඩාර

පාස්කු ඉරු දින ප්‍රහාරයන් සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සඳහන් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය වෙනතකට හැරවීමේ උත්සාහයකට අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානාහිමිවරු බැහැ දැකීමට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස ගියේ දැයි සැකයක් මතු වන බව ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යන අය නොදැන මෙම හමුවීම් සිදු වීමට හැකියාවක් නොමැත. පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු සැඟැවීමේ නාටකය වෙනුවෙන්ද මොවුන් අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හමු වූයේ යැයි ද නලීන් බණ්ඩාර ප්‍රශ්න කළේය.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ සිකුරාදා දින (20) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළ ඔහු වැඩි දුරටත් පැවසුවේ, ජනාධිපතිවරයා විසින් පත් කළ පාස්කු ඉරු දින ප්‍රහාරයන් සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස, අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැ දැක තම දුක ප්‍රකාශ කර ඇත.

අප දන්නා නීතිය අනුව ඔවුන් විසින් එවැනි පැමිණිලි කිරීම් කිරීමටද , ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීමට ද නොහැකිය. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව අභියෝගයට ලක් කිරීමෙන් මොවුන් ජනාධිපතිගේ බලතල ද අභියෝගයට ලක් කර ඇත.

මෙම හමුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ පොලිස්පති දැනුවත් ද? මෙය සැලසුම්ගත හමුවීමක් බව හැඟෙන බවද ඔහු තවදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *