පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් පවා ලබා දී තිබෙනවා – ජාතික ජන බලවේගය

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් පවා ලබා දී තිබෙනවා - ජාතික ජන බලවේගය

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට ආණ්ඩුව උසස්වීම් පවා ලබා දී තිබෙනවා - ජාතික ජන බලවේගය

මේ රටේ පවතින ඩීල් දේශපාලනය ක්‍රියාත්මක වී පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන්ට වර්තමාන ආණ්ඩුව යටතේ උසස්වීම් පවා ලබාදී ඇති බවට ජාතික ජන බලවේගය චෝදනා කරයි.

එම පක්ෂය, අන්තර්ජාලය ඔස්සේ (20) සජීවී විකාශයක් ලෙසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම චෝදනාව කරනු ලැබීය. එම මාධ්‍ය හමුවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අය සහභාගී විය.

ඔවුන් එහිදී දැක්වූ අදහස්:

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අදහස් පළ කරමින්:

“පාස්කු ප්‍රහාරයට මේ වනවිට මාස 28ක් ගතවී තිබෙනවා. ජනාධිපති කොමිසමේ වාර්තාව බාරදී මාස හයකට වඩා ගතවී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් ජීවිත 270ක් පමණ අහිමි වී ඊටත් වඩා ප්‍රමාණයක් මැරි මැරී ජීවත් වෙනවා. අත් පා නැති අය, මොළයට හානි වූ අය විශාල පිරිසක් මේ ලෙස සිටින අතර ඔවුන්ගේ පවුල් මේ හේතුවෙන් විශාල ව්‍යසනයකටද පත්වී සිටිනවා. මේක කිතුනු ජනතාවට එරෙහිව පමණක් එල්ල වූ ප්‍රහාරයක් හැටියට අපි සලකන්නේ නැහැ. මෙතන තියෙන්නේ අන්තවාදය හෝ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයක්, මුස්ලිම් ජනතාවට විතරක් ඇතිවුණු ප්‍රශ්නයක් වගේ ලඝු කරන්න බැහැ. බෞද්ධ හින්දු සහ අනෙකුත් ආගමිකයින්ට වගේම මුස්ලිම් ජනතාවටමත් මේ ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙතන ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රශ්නයට වඩා දෙයක් තිබෙනවා.

ජනාධිපති කොමිෂන් වාර්තාවේ ප්‍රධාන කරුණු බැලුවාම මේ සම්බන්ධයෙන් තොරතුරු තිබෙනවා. මේ ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකළේ ඇයි? රජයේ නිලධාරීන් වැරදිකරුවන් කරලා මේ වාර්තාව දී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලීසියේ නිලධාරීන් වගකිව යුතු බව සඳහන් වෙනවා. ඒ වගකිවයුත්තන් ගැන මේ දක්වා කටයුතු නොකිරීම විතරක් නෙවෙයි, චෝදනාවලට ලක්වී සිටින අය මේ ආණ්ඩුව උසස්වීම් පවා ලබාදී තිබෙනවා. මෙය වැළැක්වීම නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ අගමැති පමණක් නොව ඒ ආණ්ඩුවේ සිටි සියලුම මැති ඇමතිවරුන් ප්‍රහාරය පිළිබඳ දැනගෙන හිටියා.”

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් අදහස් පළකරමින්:

“මේ රටේ බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව ඔබටත් මටත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වසර ගණනාවක තොරතුරු අපි ළඟ තිබෙනවා. මේ අතර බෝම්බ පිපිරවීම් සහ පුපුරවා ගැනීම් වශයෙන් දෙකක් තිබෙනවා. මේ හැම බෝම්බ පුපුරවා ගැනීමකටම වඩා හිතාගන්න බැරි වෙනස්කමක් පාස්කු ප්‍රහාරය තුළ තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් පිපිරවූ බෝම්බවලින් පසුව එහි වගකීම ඔවුන් බාරගත්තා. බෝම්බ පුපුරවා ගැණීමට කලින් ලබාගත් ඡායාරූප පළ කර තිබෙන ආකාරයත් අපි දැක්කා. මේ බෝම්බ ප්‍රහාරවලට මොකක් හරි හේතුවක් තිබෙනවා. නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ හේතුව කියාගන්න බැරි බවක් තිබෙනවා. මේ පිළිබඳව දැඩි ව්‍යාකූල බවක් තිබෙන්නේ. මේ නිසා විමර්ශන ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සිදුකළ යුතුයි. මේ නිසා ලොකු සැකයක් පවතින්නේ. සැකය දුරු කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. මේ වගකීම නිසි පරිදි ඉටු නොකරන්න හේතුව මොකක්ද කියලා ජාතික ජන බලවේගය හැටියට අපි ප්‍රශ්න කරනවා. මේ මොහොත වනවිට බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ පවුල්වල ජීවත්වන අයට බලවත් සැකයක් තිබෙනවා, මේ පිටුපස ඉන්නේ කවුද කියන එක. පාස්කු කොමිෂන් වාර්තාව නිසා තමන් පීඩාවට පත්ව ඇති බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා..”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අදහස් පළකරමින්

“ප්‍රහාරය සිදුවෙනකොට සිටි ජනාධිපතිවරයා දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ. ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමෙන් ප්‍රහාරය සිදුවුණු බව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කළා. ඒ නිසා ඔවුන්ව පරද්දලා තමන්ව බලයට පත්කර වගකිව යුතු සියලු දෙනාට දඬුවම් ලබාදෙන අවස්ථාව ඉල්ලා සිටියා. නමුත් දැන් වගකිව යුතු බව ඒ අයම කියපු ප්‍රධානියාව තමන් ළඟ තියාගෙන ඇත්ත වගකිව යුත්තන් සඟවනවාද කියන සැකය කාටත් ඇතිවී තිබෙනවා. හරියට පරීක්‍ෂණ පවත්වන්නේ නැත්තේ මේ කෙළවරේ සිටින අය සහ ආණ්ඩුව අතර සම්බන්ධයක් තිබෙනවාද කියන සැකය ජනතාවට තිබෙනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩුව බලයට පත්වීම අරමුණු කරගෙන සිදුකළ කුමන්ත්‍රණයක්ද කියන සැකය ජනතාවට තිබෙනවා. කුමන්ත්‍රණකරුවන් කවුද කියලා අපෙන් අහන්න එපා. ආණ්ඩුවට තිබෙන බුද්ධි අංශ යොදවා එය හොයා ගැනීමේ වගකීම ඔවුන්ට තිබෙනවා. ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *