කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ තවත් දත්ත වංචාවක් හසුවෙයි.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පිළිබඳ දත්ත සැඟවීම හා විකෘති කිරීම සම්බන්ධයෙන් රජයට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබියදී පසුගිය සතිය තුළ දිස්ත්‍රික්ක කිහිපයක එවන් සිදුවීම් පිළිබඳ සාක්ෂි සහිතවම මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරිණි.

ඒ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් සත්‍ය තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරීමත් සමගය.

ඊයේ දිනයේදී තවත් දිස්ත්‍රික්ක තුනක සැබෑ කොවිඩ් දත්ත අනාවරණය වී තිබුණු අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ නිල සංඛ්‍යාලේඛන සහ සැබෑ දත්ත අතර වෙනස අතිශයින් බිහිසුණු මට්ටමක පවතින බව ඒවායින් පෙන්නුම් කෙරේ.

උදාරණයක් වශයෙන් අගෝස්තු 16 වනදා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 13ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කර තිබුණත් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවට අනුව එදින වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 505 කි. එනම්, වසංගත රෝග විද්‍යා ඒකකය රටට දැනුම් දී ඇත්තේ සැබෑ රෝගීන් සංඛ්‍යාව මෙන් තිස් අට ගුණයක් අඩුවෙනි.

කොවිඩ් වසංගත තත්වය ආරම්භයේ පටන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයිනුත් මෙරට සිටින වෛද්‍ය විශේෂඥයිනුත් වෙනත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් දැඩිව අවධාරණය කළේ වසංගතයක් මැඩපැවැත්වීම සඳහා තත්කාලීන සත්‍ය තොරතුරුවල ඇති වැදගත්කම ගැනය. ඒ, නිවැරදි සංඛ්‍යා දත්ත නිවැරදි වේලාවට නොලැබේ නම් වසංගත පාලනය සඳහා නිවැරදි පියවර නිසි වේලාවේදී ගැනීමට නොහැකි වන නිසාය.

පහසුකම් හා කාර්ය මණ්ඩල හිඟතාවය මත දත්ත ප්‍රමාද වන්නේ නම් එයත් එකකි. එහෙත් නිවැරදි දත්ත ලැබී තිබියදීත් කාගේ හෝ වුවමනාව අනුව ඒවා සඟවමින්, විකෘති කරමින් රටේ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව සපුරාම වැරදි චිත්‍රයක් රටේ ජනතාව ඉදිරියේ මවා පෙන්වා ඔවුන්ව නොමඟ යැවීම යනු වෙනමම එකකි. එය පැහැදිලිවම නින්දිත, බිහිසුණු, තුච්ඡ කුමන්ත්‍රණයකි. මීට අදාළ වන්දිය දැනටත් අපි රටක් වශයෙන් දිනපතා සිය ගණනින් මිනිස් ජීවිතවලින් ගෙවා දමමින් සිටින්නෙමු. ඊයේ දිනයේත් නිල වශයෙන් නිකුත් කෙරුණු සංඛ්‍යාලේඛන වලට අනුවම කොවිඩ් රෝගීන් 171 දෙනෙකු මියගොස් ඇත.

කොවිඩ් දත්ත විකෘති කරන්නේ ඉහළම හමුදා නිලධාරියෙකු සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහළම වෛද්‍ය විශේෂඥයින් දෙදෙනෙකු විසින් බවට ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මොහොමඩ් මුසම්මිල් මහතා පසුගිය සතියේදී ප්‍රසිද්ධියේම චෝදනා කළේය. නමුත් ඒ ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් කිසිම බලධාරියෙකු විසින් ගත් බවක් පෙනෙන්නට නැත.

මෙතරම් තොරතුරු අනාවරණය වෙමින් පවතිද්දීත් රටේ ඉහළම බලධාරීන් මේවා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ජනතාවට සිතාගැනීමට සිදුවන්නේ මේවා සිදුවන්නේ ඔවුන්ගේත් අනුදැනුම මත බවක්ය. එසේ නොමැතිව ඔවුන් තවමත් මේ ගැන නොදන්නවායැයි කියන්නේ නම් රටේ ජනතාවට සිතා ගැනීමට සිදුවන්නේ රට අරාජික වී ඇති බවක්ය.

මෙම කොවිඩ් දත්ත වංචාව සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාලිකාව විකාශය කළ ප්‍රවෘත්ති විශේෂාංගය පහතින් දැක්වේ.

-AD

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *