PCR එකක් බංග්ලාදේශයේ 2300යි, ඉන්දියාවේ 2600යි, ලංකාවේ 6500යි – ලංකාවේ වත්මන් මංකොල්ලය

කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණයක් සඳහා අයකරන මුදල අසාමාන්‍ය ලෙසින් ඉහළ බවත් මෙසේ PCR පරීක්ෂණ වලින් ජනතාව සූරාකෑමේ ක්‍රියාවලියට ආණ්ඩුවේ ඉහළ බලධාරීන් පවා සම්බන්ධදැයි සැකයක් මතුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“මේ PCR පරීක්ෂණ ගැන විශාල ප්‍රශ්න ගණනාවක් පහුගිය කාලෙ රට තුළ ඇතිවුණා. අපි දැක්කා පෞද්ගලික ආයතනවල විශාල මුදලක් අය කරනවා මේ PCR පරීක්ෂණ සඳහා. එය රුපියල් 8000ක වගේ, ඊට වඩා වැඩි මුදලකුත් සමහර තැන්වල අය කළා. දැන් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළා PCR පරීක්ෂණ වෙනුවෙන් රුපියල් 6500ක පාලන මිලක් දාලා.

ඒ මුදල අපි බැලුවොත් අපේ අල්ලපු රට, ඉන්දියාව, ඉන්දියාවේ PCR පරීක්ෂණයක් සඳහා චෙන්නායිවල තියෙන ඇපලෝ රෝහලේ ගන්නෙ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2600යි. බංග්ලාදේශයේ යන්නෙ රුපියල් 2300යි ශ්‍රී ලංකා මුදලින්. එතකොට අපට පේනවා අපිව කොයිතරම් මේකෙන් ගසා කනවාද කියලා. මේක තමයි අපි මුල ඉඳන්ම කිව්වෙ මේ ආණ්ඩුව කොවිඩ් වසංගතය තමන්ගෙ ගරානාවක් බවට පත්කරගෙන තියෙනවායි කියන එක. දැන් අපේ යාබද රටවල් ඉන්දියාවෙ ඉන්දියානු රුපියල් 950ක් වගේ යන්නෙ, ලංකාවෙ මුදලින් 2600යි. ඇයි ලංකාවෙ රුපියල් 6500ක් ගන්නෙ ?

ඇයි මේ තරම් මිනිස්සු මේ අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවෙ මේකෙනුත් මිනිස්සුන්ව මංකොල්ල කන්න ඉඩදීලා තියෙන්නෙ ආණ්ඩුව ? අපට සැකයක් තියෙනවා ආණ්ඩුවෙ ඉන්න ලොක්කොත් මේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්නවාද කියලා. මේ PCR පරීක්ෂණ කට්ටල ගේන ඒවාට, මේ PCR පරීක්ෂණ වලින් ගන්න මුදල්වලට ආණ්ඩුවෙ ලොක්කොත් සම්බන්ධද කියන එක මේ අය කරන රුපියල් 6500 අනුව අපට හිතාගන්න සිද්ධ වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *